“අස්වැසුම” නිසා ජූලි මාසයේ ලක්ෂ 20කට අස්වැසුමක් නැතිවෙලා

“අස්වැසුම” නිසා ජූලි මාසයේ ලක්ෂ 20කට අස්වැසුමක් නැතිවෙලා

ආණ්ඩුව ජූලි මාසය තුළ අස්වැසුම ගෙවන බව ආණ්ඩුව සදහාන් කළද එලෙස ගෙවීමට ආණ්ඩුවට නොහැකිවීම නිසා රජයේ සහනාධාර ලැබූ ලක්ෂ විස්සකට (2,000,000) මේ මාසයට (ජූලි) අදළ දීමනා අහිමි වී ඇතැයි සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන සංවිධායක චාමර මද්දුමකළුගේ අනාවරණය කරයි.

සමෘද්ධි වැඩිහිටි දීමනා හා වකුගඩු හා පිළිකා රෝගබාධවලින් පෙලෙන පිරිස්වලට හා අබාධිත ප්‍රජාවට ලබාදුන් දීමනා සියල්ලම එකතු කර අස්වැසුම් ප්‍රතිලාභ ක්‍රමයක් මේ මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණි. එහෙත් අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීමට පිරිස් තෝරා ගැනීමෙදී ඇති වී තිබූ ගැටලුසහගත තත්වය නිසා පැන නැගුණු විරෝධතා හමුවේ අසාධාරණයට පත් වූ ජනතාවට අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.

මේ අනුව අදාළ අභියාචනා භාර ගැනීම මේ මස 10 වැනි දින අවසන් වූ බවත් ප්‍රතිලාභ අහිමි වූ ලක්ෂ දහයක් (1,000,000) අභියාචනා ඉදිරිපත් කර තිබූ බවත් සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. අදාළ අභියාචනා විමසා බලා සුදුසු පිරිස් අස්වැසුම් ප්‍රතිලාභ ක්‍රමයට ඇතුළත් කිරීමට මෙතෙක් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවද එම සංගමයේ ප්‍රධාන සංවිධායක චාමර මද්දුමකළුගේ පවසයි.

අස්වැසුම් ප්‍රතිලාභ අහිමි වූ ජනතාවගෙන් අභියාචනා අයැදුම්පත් භාරගෙන මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගතව තිබුණද, ප්‍රතිලාභීන් තෝරාගැනීමට මෙතෙක් නිසි’ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව කියා සිටියේය. රජයේ සහනාධාර ජනතාවට ලබා දීම සෑම මසකම 05 වැනි දිනත් 10 වැනි දිනත් අතර කාලයේදී සිදුවෙන බවත් මෙම සහනාධාරවලින් පමණක් ජීවත් වන ජනතාව සිටින බවද පවසා සිටියේය.

මාසිකව ජීවත් වීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති පිරිස්වලට රජයේ සහනාධාර හිමිවන බවත්, මෙම සහනාධාරවලින් මාසිකව අවශ්‍ය වන ඹෟෂධ ලබා ගන්නා පිරිස්ද සිටින බවද සඳහන් කළේය. අස්වැසුම් අභියාචනා ගැටලුව තවමත් අවසන් වී නොමැති නිසා ලබන මාසයේදීත් සහනාධාර ලබා දීම පිළිබඳව ගැටලු ඇතිවිය හැකි බවද පවසා සිටියේය. දැනට අස්වැසුම් ලේඛනවල සිටින ජනතාවට වානිජ බැංකුවල ගිණුම් ආරම්භ කරන ලෙසට බලධාරීන් උපදෙස් ලබා දී තිබෙන බවද සඳහන් කළේය.

මේ අනුව අස්වැසුම් ප්‍රතිලාභ සඳහා තෝරා ගෙන තිබෙන බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ලිපියක් රැගෙන වානිජ බැංකු වෙත ගොස් ගිණුම් ආරම්භ කිරීමට ජනතාවට සිදු වී තිබෙන බවද සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුවේ ප්‍රධාන සංවිධායක චාමර මද්දුමකළුගේ පවසයි. මෙම තත්වය නිසා මේ වනවිට වානිජ බැංකු 04ක හා ප්‍රාදේශීය ලේකම් කාර්යාවල අස්වැසුමට අදාල පෝලිම් ඇති වී තිබෙන බවද සඳහන් කළේය.
්‍
‛අස්වැසුම’ ප්‍රතිලාභ ලබාගැනීමට අවශ්‍ය ලිපිය ලබාගැනීමට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පෝලිමේ රැඳීසිටි ප්‍රද්ගලයෙකු 27 වන දින උදෑසන බිම ඇදවැටී මියගිය බව පවසා සිටියේය.

සමෘද්ධි සහනාධාරය ලබාගත් ලක්ෂ දහසය හමාරක පිරිසක් සඳහා වැඩිහිටි දීමනා හා වකුගඩු, පිළිකා රෝග, ආබාධිත ප්‍රජාවට අදාළව තවත් ලක්ෂ හතරකට අධික පිරිසක් රජයේ ප්‍රතිලාභ ලබාගත් බවද ඔහු පවසා සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්