අද රටේ මුළු සෞඛ්‍යයම ලෙඩවෙලා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

අද රටේ මුළු සෞඛ්‍යයම ලෙඩවෙලා – වෛද්‍ය නලින්ද ජයතිස්ස

“පුහුණු කාර්ය මණ්ඩල හිඟය, උපකරණ හිඟය සහ ඖෂධ ප්‍රශ්නය කියන මූලික සාධක තුන නිසා රෝහල අකර්මණ්‍ය වන තත්වයක පවතින්නේ. 2022 අවුරුද්දේ 12,000කට වැඩි පිළිකා රෝගින් සංඛ්‍යාවක් අලුතින් හඳුනාගත්තා. මේ වගේ බෝ නොවෙන රෝග අපේ රටේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. දියවැඩියාව වගේ රෝගයකට ලබාදෙන ඉන්සියුයිලින් නැතිනම් එය කෙළවර වන්නේ කොතනින්ද? විශේෂයෙන්ම දරුවන් අතර, පෝෂණ ඌනතා බහුලයි. මුළු සෞඛ්‍යයම ලෙඩවෙලා තිබෙන්නේ. මෙතරම් ප්‍රශ්න තිබියදී සෞඛ්‍ය සේවාව සම්බනධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු කිසිවෙකුත් අවධානය යොමුකර නැහැ. ජනතාවගේ ජීවිතවලට බලපාන සෞඛ්‍ය සේවාව මේ තරම් අකර්මණ්‍ය කර තිබිම ගැන ප්‍රබල හඬක් නැගිය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය කඩා වට්ටන්න ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය, ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඔවුන්ගේ ළබැඳියාවන් වගේම දේශපාලන සංස්කෘතියේ බරපතළ වංචාවත් ඖෂධ සහ උපකරණ ජාවාරම සමග එකට ගැටෙන ජනතාවගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නය, දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය මේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ පැත්තකට දැමීමට ඉඩ නොදී ජාතික ජන බලවේගයෙන් හඬ නඟනවා. ජනතාවගේ ජීවිතවලට බලපාන මූලධාර්මික ප්‍රශ්නයක් මේක. ප්‍රශ්නය පුළුල් ලෙස විග්‍රහ කර, බරපතළකම ගැන අවධාරණය කරගෙන දරුවන්ට රටක් නැතිකර, ජනතාවගේ ජීවිත විනාශ කරන මේ පාලනය අවසන් කිරීමට ජනතාව සංවිධානය කිරීම සහ ඒකරාශී කිරීම කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සෑමදෙනාම වේගවත්ව මැදිහත් වෙමු කියලා ආරාධනා කරනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පසුගිය 27 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ පවත්වන ලද “අර්බුදයට යවන අධ්‍යපනය සහ සෞඛ්‍යය”යන මැයෙන් වූ සම්මන්ත්‍රණය අමතමිණි. එහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“අධ්‍යාපනය සහ සෞඛ්‍යය කඩා වැටීම ගැන සම්මන්ත්‍රණයට එක්වී සිටින ඔබ සැමගේ සිත මේ මොහොතේ වැඩ කරන්නේ ආණ්ඩුව දේශීය ණය කපා හැරීමෙන් තමන්ට සිදුවෙන බලපෑම ගැනයි. අනෙක් පැත්තෙන් ආණ්ඩුව IMF එකත් එක්ක එකඟ වෙලා සමෘද්ධි ලබන පවුල් ලක්ෂ 23ක් ලක්ෂ 12 දක්වා කපන කොට ජනතාව ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්න වෙලාවක්. මේ රටේ ආණ්ඩුව කරන යූ.එන්.පී. සහ පොහොට්ටුවේ නායකයෝ රටේ ජනතාව දහදිය මහන්සියෙන් හම්බකරන දෙයක් බැංකුවේ තැන්පත් කර තැබීමෙන් කුමක් සිදුවන්නේදැයි සිතන වෙලාවක. ඒ සියලු තැන්පත්වලට වඩා වටිනා තැන්පතුවක් ඔබේ සහ ඔබේ දරුවා වෙනුවෙන් පවතින අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවය. සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවය දශක ගණනාවක් තිස්සේ කොල්ලකමින් පැමිණ දැන් උච්චස්ථානයට පැමිණිලා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන්නයි මේ සම්මන්ත්‍රණය පවත්වන්නේ.

සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්නයේදී සෞඛ්‍ය එක්වරක් හෝ ප්‍රශ්නයකට මුහුණ නොදුන් කෙනෙක් මේ ස්ථානයේ ඉන්න විදිහක් නැහැ. සෞඛ්‍යය සම්බන්ධයෙන් ගැටලුවකට කවර හෝ අවස්ථාවකදී මේ රටේ ජනතාවට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමැති නිසා ගෙදර සාමාජිකයෙකුට යම් රෝගයකට ලබාගත් ඖෂධ ඉතිරි වී තිබෙනවා නම් තමන්ගේ රෝගයටත් ඒ ඖෂධ ගන්න පුරුදු වී සිටිනවා. එහෙම නැත්නම් තමන්ගේ රෝගය ඉවසාගෙන ඉන්නවා. අපි මේ ප්‍රශ්නයට තනි තනිව මෙ විදිහට මුහුණ දීමෙන් එක්කෝ රෝගය දරුණු තත්වයට පත්වෙනවා. නැත්නම් ජීවිතයෙන්ම කෙළවර වෙනවා.

දෛනික ජීවිතයෙදී අපේ ප්‍රශ්නයටත් මුහුණ දුන් ආකාරයත් හිතේ තියාගෙන ප්‍රශ්නය කොතරම් බරපතළද යන්න ගැන සමස්ත අදහසක් ගන්න ඕනෑ. අපෙ රටේ සෞඛ්‍ය සේවාවට බරහිර වෛද්‍ය සේවය, ආයුර්වේද, සිද්ධ යුනානි, හෝමියෝපති වගේම චීන කටුවෙදකම් අයිති වෙනවා. නමුත් අපේ රටේ ආයතන පද්ධතිය බටහිර සෞඛ්‍ය සේවාව මූලික කරගෙන තිබෙන නිසා, ඒ ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. බ්‍රිතාන්‍ය යටත්විජිත කාලයේ හඳුන්වා දුන් මෙ සෞඛ්‍ය සේවයට අවුරුදු 150ක් පමණ ගතවී තිබෙනවා. අපේ සෞඛ්‍ය සේවය පිළිබඳව ලෝකයේ යම් පිළිගැනීමක් තිබුණා. ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණාට සෟඛ්‍යමය වශයෙන් ඉහළ මට්ටමක පැවතුණා යැයි යම් සාකච්ඡාවක් පැවතුණා. ජාතික රෝහලේ සිට 643ක් පමණ වන රෝහල් පද්ධතියත්, 522ක් පමණ ප්‍රාථමික සෞඛ්‍ය ඒකකත් පිහිටුවා තිබෙනවා. මේවා තුළ ලක්ෂයකට වඩා වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඇඳන් 85,000ක් පමණ තිබෙනවා. 356ක පමණ වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසත් පවතිනවා. මේ ආකාරයට රෝග නිවාරණය සඳහා කටයුතු කරන ජාලයක් ස්ථාපිතව පවතිනවා. මේ නිසා මාතෘ මරණ, ළමා මරණ, වගේ සෞඛ්‍ය දර්ශකවලින් අපි ඉදිරියට පැමිණ සිටියා. 1990 දී තිබූ ලක්ෂයකට 75ක් පමණ වූ මාතෘ මරණ වර්තමානයේ 36ට අඩුවී තිබෙනවා. අවුරුද්දට අඩු ළදරු මරණ 1990 දී 13 තුනේ සිට දැන් 04 දක්වා අඩුවී තිබෙනවා. 1990දී අවුරුදු 05ට අඩු දරුවන්ගේ මරණ 17, 18, 32ක් වූ නමුත් අද 07 දක්වා අඩුවී තිබෙනවා.

මේවා ටිකක් පැරණි දර්ශක. දැන් ලෝකය සාකච්ඡා කරන්නේ තිරසර සංවර්ධන දර්ශක පමණයි. ඒ තුළ සෞඛ්‍ය ගැන සාකච්ඡා කරන්න අලුත් දර්ශක ප්‍රමාණයක් ඉදිරියට ගත්තා. මාතෘ මරණ සහ ළදරු මරණවලට වගේම කෙතරම් සියදිවි හානිකර ගන්නවාද, රටේ මානසික සෞඛ්‍ය කොහොමද, බෝ නොවෙන රෝගවලින් කොපමණ ජනතාවක් මිය යනවාද? ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිනවාද? අනතුරුවලින් කොපමණ තරම් ප්‍රමාණයක් මිය යනවාද? රටේ ජනගහනයෙන් කොපමණ පිරිසක් සෞඛ්‍ය වෙනුවෙන් පෞද්ගලිකව වියදම් කරනවාද? වගේ අලුත් දර්ශක ප්‍රමාණයක් සෞඛ්‍යය ගැන සාකච්ඡා කරන්න යොදා ගන්නවා. මේ නිර්ණායක එක්ක අද අපි ලෝකයේ ඉන්නේ හොඳ තැනක නොවෙයි. රටේ සෞඛ්‍ය පද්ධතිය ජනතාව එක්ක කොතරම් ගැටගැසී තිබෙනවාද? ඒ පිළිබඳව තකසේරු කරන “සමස්ත සෞඛ්‍ය ආවරණය” නම් නිර්ණායකය යොදා ගන්නවා. එයින් ලංකාව සිටින්නේ 67 වැනි ස්ථානයේ. දුර්වලම අය ලකුණු බිංදුවකුත් හොඳම අය ලකුණු සියයකුත් ලබාගන්නා මේ නිර්ණායකයේ සිංගප්පූරුව ලකුණු 86ක්ද, දකුණු කොරියාව 86ක්ද චීනය 82ක් කියුබාව 80ක්ද, නවසීලන්තය 86ක් ද ලබාගෙන තිබෙනවා. එක් කාලයකදී ලංකාවට වඩා පහළින් ආර්ථික දර්ශකවලින් සටහන් වුණු රටවල් තමන්ගේ ආර්ථිකයත් වර්ධනය කරගෙන ජනතාවට ඉහළ සෞඛ්‍ය සේවයක් ලබාදී තිබෙනවා. අපි ආසියාවේ සහ දකුණු ආසියාවේ කප් ගහලා ඉඳලා වේගයෙන් පල්ලම් බහිනවා.

මේ දවස්වල සෞඛ්‍ය සේවාව පිළිබඳ සාකච්ඡාව ඉදිරියට පැමිණ තිබෙනවා. පසුගිය ඉරිදා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තලය “ලෙඩ වෙන්න එපා. රෝහල් ලෙඩින්” යනුවෙන් යොදා තිබුණා. අද අපේ රෝහල් පද්ධතියත් අකර්මණ්‍ය වෙලා තිබෙන එක සෑම පැත්තකින්ම වාර්තා වෙනවා. හොඳ සෞඛ්‍ය සේවාවක් සපයන්න පුහුණු කාර්ය මණ්ඩලයක්, අවශ්‍ය උපකරණ, ඖෂධ සහ එන්නත් කියන කරුණු ප්‍රතිකාරය සහ රෝග නිවාරණයේදී අතිශයින්ම වැදගත්. දැන් වෙනකොට පුහුණු කාර්ය මණ්ඩලයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සිට සේවකයින් දක්වා විවිධ පරාසයන් තුළ සිටි කාර්ය මණ්ඩලය ඉවත් වී යනවා. මෑතක් වන තුරු විශේෂඥ වෛද්‍යවරුන් 2,300ක් සිටියා. 2025 වනවිට ඒ සංඛ්‍යාව 4000 දක්වා වැඩිකළ යුතු වෙනවා. පසුගිය කාලයේ තෙල් හා ගෑස් පෝලිම්වල ඉන්න බැරිව රට හැර යන්න පටන්ගත් තැන් සිට මේ ආණ්ඩුව ඇවිත් ගහන උපයන විට ගෙවීමේ ටැක්ස් එක ගෙවා ගන්න බැරිව ඒ පීඩනයන් නිසා විදේශගත වෙනවා. තවත් අය පිටරට ගියේ ලොකු වැටුපක් ගන්න බලාගෙන නොවෙයි, තමන්ගේ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය ගැන හිතලා. වාර්තා වෙන ආකාරයට විශේෂඥ වෛද්‍යවරුන් 500ක් පමණ රට හැර ගිහින්. ගොඩක් අය සේවයෙන් ඉවත් වීමේ ලිපියක් භාරදී යන අය නොවෙයි. විශේෂඥ වෛද්‍යවරුන් රට අත්හැර යාම වගේම මේ 30වනදා වනවිට ඔවුන් 148 දෙනෙකු විශ්‍රාම යනවා. වසර අවසන් වන විට 600ක් 700ක් අතර ප්‍රමාණයක් මේ රට අත්හැර යාමට ඉඩ තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරයෙක් පාන් බානවා වගේ හදන්න බැහැ. අඩුම තරමින් අවුරුදු 12ක් වත් ගත වෙනවා.

මට ලැබුණු වාර්තාවක තිබෙන දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කරන්නම්. 2028 වනවිට කායික රෝග විශේෂඥයින් 418ක් ඉන්න ඕනෑ. දැනට 240ක් ඉන්න අතර, දෙසැම්බර් වන විට එයින් 22දෙනෙකු විශ්‍රාම යනවා. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරු 247ක් සිටිය නමුත් ඉන්නේ 145යි. එයින් 23ක් දෙසැම්බර් වලදී විශ්‍රාම යනවා. ළමා රෝග විශේෂඥයින් 302ක් සිටිය නමුත් දැන ඉන්නේ 146යි. එයින් 28ක දෙසැම්බර් අවසන් වනවිට විශ්‍රාම යනවා. නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන් 24ක් මේ වනවිට රට අත්හැර ගිහින්. නිර්වින්දන විශේෂ වෛද්‍යවරුන් 284ක් සිටිය නමුත් දැන් ඉන්නේ 129යි. වසර අවසන් වනවිට එයින් 18ක් විශ්‍රාම යනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් රට අත්හැර යාමේ ප්‍රතිඵලයක් හැටියට අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යන රජරට වෛද්‍ය පීඨයට අනුබද්ධ මහාචාර්ය ඒකකය වහන්න සිදුවුණා. දැනට තාවකාලිකව තඹුත්තේගම රෝහලේ විශේෂඥවරයා සේවයට යොදවා තිබෙනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 103ක් ඉන්න ඕනෑ නමුත්, ඉන්නේ 57යි. එයින් 08දෙනෙක් දෙසැම්බර් වනවිට විශ්‍රාම යනවා. සමේ රෝග විශේෂඥ වෛද්‍යවරුන් 129ක් සිටිය යුතු නමුත් දැන් ඉන්නේ 66යි. ඉන් 08දෙනෙකු දෙසැම්බර්වලදී විශ්‍රාම යනවා. මේ වගේ සෑම ක්ෂේත්‍රයකම සිටිය යුතු ප්‍රමාණය ඇත්තෙත් නැහැ, ඉන්න අයත් රට අත්හැර යනවා. මේ නිසා පර්යන්ත රෝහල්වල සමහර වාට්ටු මුළුමනින්ම අකර්මණ්‍ය වෙමින් තිබෙනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් 18,600ක් පමණ සිටියත් මේ වනවිට 1,500ත් 1,700ත් අතර ප්‍රමාණයක් ඉවත්ව ගිහින්. අපේ රටේ පර්යන්ත රෝහල් 50කට ආසන්න ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයක් මතුවෙලා තිබෙන්නේ. ඉන්න අය කොහොම හරි ඇදගෙන ගියත් මේ විදිහට යා හැකි සීමාවක් තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් ඉතිරි වුණත් උදව්වට සාමාන්‍ය වෛද්‍යවරුන් නැතිනම් කිසිවක කර ගන්න බැහැ. සමහර රෝහල්වල හදිසි ශල්‍යකර්ම පමණක් සිදුකරනවා. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත්වීම හා රට අත්හැර යාම බරපතළ තත්වයක්. ලබන අගෝස්තු මාසය වනවිට අම්පාර මහ රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් හතර දෙනෙක් රට අත්හැර යාමට සූදානම් බව ආරංචි වෙනවා.

පුහුණු කාර්ය මණ්ඩලයේ හිඟය වෛද්‍යවරුන්ට පමණක් සීමා වෙන්නේ නැහැ. එසේ තිබියෙදීත් ලබන මාසය වනවිට වෛද්‍යවරුන් 748 දෙනෙකු විශ්‍රාම යන බව වාර්තා වෙනවා. දැන් ප්‍රශ්නය තිබෙන්නේ ඉන්න අය විශ්‍රාම ගන්නකොට විදේශීය පුහුණුවට ගිය අය නැවත නොපැමිණීමයි. අලුත්ම ප්‍රශ්නය වෛද්‍ය පීඨවලින් උපාධිය ගත් දරුවන් පවා සීමාවාසික පුහුණුවට පවා නොපැමිණීමයි. ඔවුනුත් රට අත්හැර යනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය හැක්කේ සීමාවාසික පුහණුව ලැබීමෙන් පසුවයි. නමුත් පසුගිය අප්‍රේල් මාසයෙදී සීමාවාසික පුහුණුව අවසන් කර, පත්වීම් ලබාගැනීමට සිටි 1,400කින් තුන්සිය දෙනෙකු පත්වීම් ගත්තෙත් නැහැ. අද රට මුහුණ දී තිබෙන්නේ මෙහෙම අර්බුදයකට. ආණ්ඩුව මැදිහත් වී මේ අය රඳවා ගැනීමයි කළ යුත්තේ. වෛද්‍යවරුන් පමණක් නොවෙයි ලෝකයේ මේ වනවිට වැඩිම ඉල්ලුමක් සහිත හෙද සේවයටත් ඒ ආකාරයෙන්ම බලපා තිබෙනවා. ඔවුනුත් රට අත්හැර යන්න පටන්ගෙන තිබෙනවා. අතුරු වෛද්‍ය සේවයේ අයත් රට අත්හැර යනවා. අනෙක් පැත්තෙන් හෙද සේවයට ඇතුළත් කරගැනීමේ ක්‍රියාවලියත් අවුරුදු තුනක පමණ සිට අඩපණ කර තිබෙනවා. වැඩිවන බඩු මිල සහ ප්‍රධානම වියදම් හමුවේ තම වියදම් දරාගන්න බැරිව පුහුණු කාර්ය මණ්ඩලයට අයත් කණිෂ්ඨ සේවකයින් පවා රැකියාව හැර යනවා. සහායක සේවකයන්ගේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ විශේඥ වෛද්‍යවරයා දක්වා සියලුම ශ්‍රේණිවල අය රට අත්හැර යාමෙන් සෞඛ්‍ය සේවාව බිඳවැටෙනවා.

අනික් පැත්තෙන් කාර්ය මණ්ලයේ සිටියත් වැඩකරන්න නැති ප්‍රශ්නය බරපතළයි. සමහර රෝහල්වල අත්‍යවශ්‍ය රුධිර පරීක්ෂණයක් (ෆුල් බ්ලඩ් කවුන්ට්) සමහර රෝහල්වල රුධිර පරීක්ෂාව දවසකටම 05ක් දක්වා, සීමා කර තිබෙනවා. උපකරණ හිඟය එතරම්ම උග්‍රයි. රජයේ රෝහල් ඉතාම අතළොස්සකට විතරයි එම්.ආර්.අයි. මැෂින් තිබෙන්නේ. කුරුණෑගල, පුත්තලම රෝගින් එම්.ආර්.අයි අනුරාධපුර රෝහලට යොමු කළා. පසුගිය අප්‍රේල් මාසයේ සිට ඒ රෝහලේ එම්.ආර්.අයි. මැෂින් එක කැඩිලා තිබෙන්නේ. රජයේ සහ පෞද්ලික යන දෙඅංශයේ රෝහල්වල සී.ටී. යන්ත්‍ර 40ක්ම තිබෙනවා. එයිනුත් සීටී මැෂින් 10ක් පමණ කැඩී තිබෙනවා. මේ බොහෝ ගනුදෙනු සිදුකර තිබෙන්නේ, වොරන්ටියක් නැතිවයි. එම්.ආර්.අයි. පරීක්ෂණ, රුධිර පරීක්ෂණ කිසිවක් කර ගන්න බැරි තත්වයක තිබෙන්නේ. පුහුණු කාර්යමණ්ඩලයේ යම් ප්‍රමාණයක් ඉතිරි වුණත්, රෝහල් පවත්වාගෙන යා නොහැකි උපකරණ හිඟයක් පවතිනවා.

අපේ රටේ වැඩිපුර මරණ සිදුවන්නේ ආඝාතය සහ හෘදයාබාධවලින්. 45%ක් විතර මරණ සිදුවන්නේ ඒ දෙකෙන්. මේ නිසා ජපන් රජයෙන් ජයිකා ව්‍යාපෘතිය හරහා රෝහල් පහකට එන්.ජි.යෝ ග්‍රැෆික් පරීක්ෂණ උපකරණ ප්‍රදානය කරන්න සූදානමින් සිටියා. නමුත් නිමල් සිරිපාල ද සිල්වාගේ ක්‍රියාකලාපය නිසා එය නැවතී ගියා. අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවාගෙන පුහුණු කිරීම් පවා සිදුකර තිබියෙදී මේ දේ වුණේ. නිමල් සිරිපාලලාට ඒකෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ට සිංගප්පූරුවට යාමට පුළුවන්. ඔහුගේ දිස්ත්‍රික්කයේම බදුල්ලේ, ත්‍රිකුණාමලයේ පෝලිම අඩුකර ගන්න, එන්ජීඕග්‍රෑම් යුනිට් එක ස්ථාපිත කර හෘද සැත්කම්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීමේ අවස්ථාව මේ නිසා සම්පූර්ණයෙන් අහිමි වුණා.

අනෙක බරපතළම ප්‍රශ්නය ඖෂධ සම්බන්ධවයි. ඖෂධ මිල වැඩියි, හිගයි ඒ වගේම බරපතළ ප්‍රශ්නත් මතුවී තිබෙනවා. නිර්වින්දන ඖෂධ හිඟය සහ වෛද්‍යවරුන්ගේ හිඟය යන කරුණු දෙකම සමහර තැන්වල ශල්‍යකර්ම නැවතීමට බලපා තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ පවා දවස් කිහිපයක් ඉන්සියුලින් තිබුනේ නැහැ. අත්‍යවශ්‍ය ඖෂධ 150ක හිඟයක තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිළිගෙන තිබෙනවා. රටක සාමාන්‍යයෙන් වසරකට ප්‍රමාණවත් ආරක්ෂිත ඖෂධ තොගයක් පැවතිය යුතු වුවත් අපේ රටේ මාස තුනකට ප්‍රමාණවත් තරම් වත් තොග නැහැ. බල්ලෙක් සපාකැම, සර්පයෙක් දෂ්ට කිරීම, වගේ අවසථාවලදී රෝගීන්ගේ ජීවිතවලට අවශ්‍ය ඖෂධ පවා හිඟයක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවට අවශ්‍ය ඖෂධවලින් 75ක් ගෙන්වන්නේ සමාගම තුනකින්. මේ නිසා ජනතාවට දරා ගත නොහැකි මිලක් දමා මෙ ඖෂධ වෙළඳපොළට නිකුත් කරනවා. තව පැත්තකින් ඖෂධ තිබුණත් ඒවාගේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් නැහැ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නිර්වින්දන ඖෂධ නිසා තිදෙනෙකු මිය ගියා. ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයක් බරපතළයි. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිව සිටි කාලයේ රුසියාවෙන් ගෙන්වන ලද අලුත් ඖෂධයක්, පියයුරු පිළිකාව සඳහා භාවිතා කළ නොහැකි බව පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිල වශයෙන් ප්‍රකාශ කළා. ඒ ඖෂධ පරීක්ෂා කර නොමැති බව පැවසූ පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ට විනය පරීක්ෂණ නියම කර, රෝහල්වලට බලෙන් ඒ ඖෂධ ලබාදුන්නා. ඒ කාලයේ සිටි ඖෂධ සංස්ථාවේ සභාපති සහ ඒ ඖෂධ ගෙන්වූ සමාගම විසින් බලහත්කාරය වෛද්‍යවරුන් මත පටවා ඇති බව පරීක්ෂණවලින් පස්සේ කාලයකදී හෙළිවුණා. මේ නිසා ඉවත් කළ ඒ සභාපතිම දැන් නැවතත් සභාපති ලෙස කටයුතු කරනවා. ඖෂධ නියාමන අධිකාරිය ඉදිරිපත් කර තිබෙන වාර්තාවකින් වැදගත් කරුණු රැසක හෙළිවෙනවා. ඉන්දියාවෙන් ගෙන්වන සමහර ඖෂධ වෙනුවෙන් අව්‍යාජ සමාගම ටෙන්ඩර් ඉදිරිපත් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආනයනය කර තිබෙන්නේ ලේබල වෙනස් කළ ඖෂධ බවයි. මෙවැනි මාෆියා තවමත් ක්‍රියාත්මක වෙනවා. සමහර රෝගීන් මරණයට පතවුණේ මේ මාෆියාවල ප්‍රතිඵල නිසයි. ඖෂධ සම්බන්ධයෙන් හිඟය මිල වැඩවීම සහ ගුණාත්මකභාවය යන කරුණු තුනම එකවර බලපා තිබෙනවා. ආණ්ඩු, ඇමතිවරු සහ නිලධාරීන් එකවී ගෙන යන විශාල මාෆියාවක් මේ තුළ තිබෙනවා.

පුහුණු කාර්ය මණ්ඩල හිඟය, උපකරණ හිඟය සහ ඖෂධ ප්‍රශ්නය කියන මූලික සාධක තුන නිසා රෝහල අකර්මණ්‍ය වන තත්වයක පවතින්නේ. 2022 අවුරුද්දේ 12,000කට වැඩි පිළිකා රෝගින් සංඛ්‍යාවක් අලුතින් හඳුනාගත්තා. මේ වගේ බෝ නොවෙන රෝග අපේ රටේ වේගයෙන් ව්‍යාප්ත වෙනවා. දියවැඩියාව වගේ රෝගයකට ලබාදෙන ඉන්සියුයිලින් නැතිනම් එය කෙළවර වන්නේ කොතනින්ද? විශේෂයෙන්ම දරුවන් අතර, පෝෂණ ඌනතා බහුලයි. මුළු සෞඛ්‍යයම ලෙඩවෙලා තිබෙන්නේ. මෙතරම් ප්‍රශ්න තිබියදී සෞඛ්‍ය සේවාව සම්බනධයෙන් ආණ්ඩුවේ වගකිව යුතු කිසිවෙකුත් අවධානය යොමුකර නැහැ. ජනතාවගේ ජීවිතවලට බලපාන සෞඛ්‍ය සේවාව මේ තරම් අකර්මණ්‍ය කර තිබිම ගැන ප්‍රබල හඬක් නැගිය යුතුයි. අධ්‍යාපනය සහ සෞඛ්‍යය කඩා වට්ටන්න ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කළ යුතුයි. ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය, ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඔවුන්ගේ ළබැඳියාවන් වගේම දේශපාලන සංස්කෘතියේ බරපතළ වංචාවත් ඖෂධ සහ උපකරණ ජාවාරම සමග එකට ගැටෙන ජනතාවගේ ජීවිත සම්බන්ධ ප්‍රශ්නය, දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය මේ පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ පැත්තකට දැමීමට ඉඩ නොදී ජාතික ජන බලවේගයෙන් හඬ නඟනවා. ජනතාවගේ ජීවිතවලට බලපාන මූලධාර්මික ප්‍රශ්නයක් මේක. ප්‍රශ්නය පුළුල් ලෙස විග්‍රහ කර, බරපතළකම ගැන අවධාරණය කරගෙන දරුවන්ට රටක් නැතිකර, ජනතාවගේ ජීවිත විනාශ කරන මේ පාලනය අවසන් කිරීමට ජනතාව සංවිධානය කිරීම සහ ඒකරාශී කිරීම කළ යුතුයි. ඒ වෙනුවෙන් අපි සෑමදෙනාම වේගවත්ව මැදිහත් වෙමු කියලා ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්