ජනතාවගේ අයිතීන් සීමා කිරීමට ගෙන එන ත්‍රස්ත විරෝධී පනත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතක් බව ජාතික ජන බලවේගයේ නීතීඥයෝ සංවිධානයේ නීතිඥ හර්ෂණ නානායක්කාර අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.
““ත්‍රස්ත විරෝධී පනත” ලෙස රටේ මේ මොහොතේ ඉතාමත් භයානක පනතක් පසුගිය මාර්තු 17 වන දින ගැසට් මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබෙනවා. එය නීතියක් බවට පත්වීම මේ රටේ මානව හිමිකම් රකින්නන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට, සුළු ජාතිකයන්ට, මාධ්‍යවේදීන්ට පවා ඉතා බරපතළ තර්ජනයක් ඇතිකරන තත්වයක්. පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට ඒ පනත සාධාරණය කිරීමට පත්‍රිකාවක් අවශ්‍ය වෙනවා. නමුත් මේ පනතේ එවැනි පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා නැහැ. මේ රටේ යුද්ධය නිසා ආර්ථිකය අඩාල වී තිබෙනවා. එය වැළැක්වීම පිණිස මේ ත්‍රස්ත විරෝධී පනත ගේන බව කියනවා. මේ වෙනකොට ත්‍රස්තවාදී යුද්ධයක් ඇත්තේ නැහැ. එවැනි යුද්ධයක් ඇතිවෙන තත්වයක් නිර්මාණය වෙලත් නැහැ.
සාමාන්‍ය අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකි දේවලට තමයි මෙම ත්‍රස්ත විරෝධී පනත ගේන්නේ. එහි තිබෙන දැඩි දඬුවම් දීමේ බලතල සහ දැඩි ලෙස ජනතාවගේ අයිතීන් සීමා කිරීමට ඇති හැකියාව සැලකිල්ලට ගත යුතුයි. මෙය ආණ්ඩුවට එරෙහිවන ජන විරෝධයන් මර්දනය කිරීම සඳහා ගේන්නා වූ පනතක් බව ඉතා පැහැදිලියි. රනිල් වික්‍රමසිංහ ජන වරමක් නැති, ඡන්දයක් දිනාගත නොහැකි ජනාධිපතිවරයෙක්. මේ අවස්ථාව වන විට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අධිකරණයේ නියමයන් උල්ලංඝනය කරමින් නීති කඩමින් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ සම්බන්ධයෙන් ජනතාවගේ නැගී සිටීමක් ඇති වුවහොත් ඒය මර්දනය කිරීමට අවශ්‍ය පනතක් වශයෙන් තමයි මෙම පනත ගේන්නේ.
මේ පනත ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතක්. විධායකයට අභියෝග එල්ලවන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නයි මේ පනත ගෙන එන්නේ. මේ පනතේ ‘ත්‍රස්තවාදී වරදක්’ කියන වචනයට ඉතා පුළුල් අර්ථකථනයක්දී තිබෙනවා. යම් පනතකින් ජනතාවගේ අයිතිවාසිකම් සීමා කරන කොට, එම පනතේ වැරදි පැහැදිලි කිරීම් නිශ්චිත ස්වරූපයකට තිබෙන්නට ඕනෑ. ත්‍රස්ත ක්‍රියාවක් යනු කුමක්ද යන්නට හරියටම අර්ථකථනයක් දෙන්නට බැහැ. එය එම මොහොතේ පොලිසියට හෝ ආණ්ඩුවට හිතෙන විදියට විය හැකියි. 3 (2) වගන්තිය ගෙන බැලුවහොත් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වන වැරදි වර්ග 13ක් තිබෙනවා. ඒ, දේපළකට බරපතළ හානි කිරීම හෝ ප්‍රසිද්ධ ස්ථානයකට හානි කිරීම, අත්‍යවශ්‍ය සේවාවලට බාධා පැමිණ වීම, පෞද්ගලික දේපළක් සොරා ගැනීම, නීති විරෝධී ජන රාශියකට සාමාජිකයෙකු විම වැනි ඒවායි. බැලූ බැල්මට මේ හානි වැළැක්වීම හොඳයි. මේ සියල්ලටම දඬුවම් දීමට අපරාධ නීතිය හොඳටම ප්‍රමාණවත්. එසේ නම් ඇයි මේ ත්‍රස්ත විරෝධී පනතක් ගෙනඑන්නේ. උදාහරණයක් ලෙස, මේ පනත බලාත්මක වී තිබුණා නම්, රතුපස්වල සිදුවීමත්, මීතොටමුල්ලේ කුණු දැමීමේ සිදුවීම, රජය විසින් රජයේ ඉඩම් අත්පත් කර ගන්නා විට රජයේ නියෝග පිළිපදින්නේ නැත්නම්, ඒවා මේ පනත අනුව ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සැලකිය හැකියි. වචනයකින් හෝ කතාවකින් එවැන්නක් කළ නොහැකියි. ෆේස් බුක් පෝස්ට් එකක් වත් දැමිය නොහැකියි. ‘අසාද් සාලි විසින් බොදුබල සේනාව විවේචනය’ කිරීම මේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකෙනවා. ඒ අනුව වසර 20ක් හිරේ යැවිය හැකියි. මෙහි ඇති භයානක තත්වය නම්, ලෝකයේ අන්තර්ජාතිකව පිළිගත් ත්‍රස්ත විරෝධී සම්මුතීන් 10ක් තිබෙනවා. ඒ දහයේම ප්‍රධාන කොන්දේසි දෙකක් තිබෙනවා. ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් වීමට කලින් එම වරද සිදුවීමට චේතනා දෙකක් තිබෙනවා. එම කරන ක්‍රියාව මරණය සිදුකිරීමට හෝ බරපතළ ශාරීරික ආබාධයක් කිරීමට හෝ යමෙක්ව පැහැර ගැනීමට, අල්ලා ගැනීමට සහ එසේ කිරීම මගින් යම් ජනතාවකට, ආණ්ඩුවකට භීතියක් ඇති කොට බලපෑම් කරනවා නම් එවන් ක්‍රියා අන්තර්ජාතික මට්ටමේ ත්‍රස්ත ක්‍රියා ලෙස සැලකෙනවා. නමුත් මේ ගෙන එන පනතේ එය නැහැ. උදාහරණයක් ලෙස වෘත්තීය සමිතියක් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා පාරට එනකොට එය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස ජනාධිපති ගැසට් එක නිකුත් කළ පසුව ඒ වෘත්තීය සමිති නායකයන් සියල්ලන්ම අත්අඩංගුවට ගත හැකියි. පාසල් ගුරුවරු පඩි අඩුයි කියා වර්ජනයකට යනවා නම් අධ්‍යාපන සේවය අත්‍යවශ්‍ය සේවයක් කර, බාධාවක් කළ බව පවසා අත්අඩංගුවට ගෙන වසර 20ක් හිරේ දැමීමේ හැකියාව තිබෙනවා.
10 වන වගන්තියේ තිබෙනවා ඕනෑම පුද්ගලයෙක් යම් ප්‍රකාශයක් සිදු කළහොත්, කතා කළොත්, ලිව්වොත්, සංඥා මගින් පෙන්වුව හොත් ඔවුන්ට හිතෙනවා නම් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවකට අනුබල දෙනවා, සංඥා කරනවා කියා, එයත් මේ පනත යටතේ වරදක් ලෙස සැලකෙනවා. මෙයින් ප්‍රකාශ වන්නේ එයාලා අකමැති ඕනෑම දෙයක් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථකථනය කරන්න, රජයට හැකියාව තිබෙන බවයි. මෙසේ කරන්නේ ඇයි? වන්නේ ජන වරමක් නැති ආණ්ඩුවක් ජනතාව මත බලෙන් පටවනවා, රටේ සම්පත් විකුණනවා. කිසිදු වෘත්තීය සමිතියකට හෝ එයින් පීඩාවට පත්වෙන අයෙකුට තමන්ගේ අප්‍රසාදය සාමකාමීව ඉදිරිපත් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මෙය ඉතාමත් මර්දනකාරී පනතක්.
16 වන වගන්තිය ප්‍රකාරව යම් ප්‍රදේශයකට ඇතුළත් වීම, යම් පාරක ගමන් කිරීම තහනම් කිරීම, එස්.එස්.පී. කෙනෙකුට හැකියාව තිබෙනවා. එය පිළිනොගත හොත් ත්‍රස්වාදියෙක් ලෙස අත්අඩංගුවට ගැනීමට මේ පනතින් හැකියාව ලැබෙනවා. මෙහි 71 වගන්තියෙන් නීතිපතිවරයාට බලයක් දෙනවා යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පසුව ඔහු සමාව ඉල්ලා සිටිනවා නම්, ඔහුට සමාව දීමට. මෙයින් සිදුවන්නේ පාපොච්චාරණයක් ලබාගැනීමට අවස්ථාවක් සකස් කර ගැනීමයි. මෙහි සඳහන් කරන ත්‍රස්ත ක්‍රියාවක් මගින් ඕනෑම සංවිධානයක් තහනම් සංවිධානයක් බවට පත්කිරිමට, ජනාධිපතිවරයාට බලයක් ලැබෙනවා. 83 වගන්තියෙන් ජනාධිපතිවරයාට විශේෂ බලයක් දෙනවා මහාධිකරණයට ගිහින් ඒ පුද්ගලයන්ට විරුද්ධව නියෝගයක් ගන්න. පිටරට යාම තහනම් කිරීම, ලංකාව තුළ ගමන් බිමන් තහනම් කිරීම, ජනාධිපතිට බලය ලැබෙනවා. සාමාන්‍යයෙන් මහාධිකරණයට යන්නේ පොලීසිය හෝ නීතිපතිවරයායි. ජනාධිපතිවරයාට එම බලය දීමෙන් අධිකරණයට බලපෑමක් කිරීමට අවස්ථාව උදාකර දෙනවා. ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ රටේ සම්පත් විකුණමින්, ජනතාව මත බදුබර පටවමින්, ඡන්ද අයිතින් හකුළමින්, මර්දනය, පීඩනය යොදමින් ජනතාවට හානි කරමින් යනවා. පීඩාවන් දරාගත නොහැකි ජනතාව පාරට බහිනවා. ඒ ජනතාව ත්‍රස්තවාදීන් ලෙස සලකමින් දඬුවම් පමුණුවන්න තමයි මේ ත්‍රස්ත පනත ගෙන එන්නේ.”










