මේ වනවිට රට තුළ සියදිවි නසා ගැනීම් ඉහළ යමින් තිබෙන බවත් පසුගිය දින 50ක කාලය තුළ හෝමාගම හදිසි මරණ පරීක්ෂක බල ප්‍රදේශයේ පමණක් එකොළොස් දෙනෙකු ගෙළ වැල ලා ගෙන සියදිවි හානි කරගෙන ඇතැයිද ඒ අතර 15 හැවිරිදි දැරියකද සිටින බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බී.එච්.කේ චින්තක උදය කුමාර පවසන්නේ පනාගොඩ, හබරකඩ, නියදගල, පිටිපන, හිරිපිටිය, මීගොඩ, හංවැල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලින් මෙලෙස සියදිවි නසා ගැනීම් වාර්තා වන බවයි.
ඔවුන් වයස අවුරුදු 15ත් 65ත් වයසේ පසුවන්නන් බවත් ඉන් හත් දෙනෙකු මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් බවත් වාර්තා වේ
ඔවුන් අතරින් වැඩි පිරිසක් බිරිඳ සමග ඇතිකරගත් ආරවුල් හේතුවෙන් ගෙළ වැල ලා ගත් පුද්ගලයන් බවත් තවත් මරණ කිහිපයක් සිත් තැවුල හා මානසික පීඩනය හේතුවෙන් සිදුකර ගත් මරණ බව ඔහු අනාවරණය කරයි.
මේ අතර මීගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පහළොස් හැවිරිදි පාසල් දැරියක සියදිවි හානි කර ගෙන ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වූ මානසික සිත් තැවුල නිසා බවත් මෙම දැරියගේ මව විදේශ විදේශගතව සිටින අතර පියා වෙන ම විවාහයක් කරගෙන සිටින බවත් ඔහු අනාවරණය කරයි.
මෙම සියලු මෘත දේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර සහ හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු මානෙල් ගමගේ විසින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ උසාවියේදී සිදු කරනු ලැබ ඇත.
එහිදී අනාවරණය වූ කරුණු අනුව පෙර වසරවලට වඩා මේ වසරේ ඉකුත් දින පනහක කාලය තුළ මෙසේ සියදිවි හානිකර ගැනීම් වාර්තා වීම වර්ධනය වී තිබූ බවත් ඊට කිසියම් ගැටලුවකදී සුදුසු පුද්ගලයකුගෙන් උපදෙසක් ලබා නොගෙන චිත්ත පීඩාවෙන් පසුවීමත්, මානසික ආතතිය හා සිත් කලකිරීමෙන් පසුවීමත් මෙම මරණවලට හේතුව බවට තොරතුරු අනාවරණය වූ බව හදිසි මරණ පරීක්ෂකවරු පවසති.
එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන්හිදී හෝ මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය 1926 සඳහා ඇමතුමක් ලබා දෙන ලෙසද ඔවූහු අවධාරණය කරති.










