රටේ ජනගහනයේ 76%ක් ආහාර අර්බුදයක – ලෝක ආහාර වැඩපිළිවෙල

රටේ ජනගහනයේ 76%ක් ආහාර අර්බුදයක – ලෝක ආහාර වැඩපිළිවෙල

මෙරට ජනගහනයෙන් 76%ක් ආහාර අනාරක්ෂිතභාවය නිසා ආහාර සම්බන්ධයෙන් විකල්පයන්ට යොමුවී සිටින බවත් මෙරට ජනගහනයේ 73%ක් මිලෙන් මෙන්ම පෝෂණයෙන් අඩු ආහාර සඳහා යොමුවී ඇති බවවත් ලෝක ආහාර වැඩපිළිවෙල මෙරට ආහාර ආරක්ෂතා අධික්ෂණය පිළිබඳව සිය නවතම වාර්තාව එළිදක්වමින් පෙන්වා දෙයි.

රටේ ජනගහනයෙන් 52%ක් ආහාර ප්‍රමාණය අඩුකර ඇති අතර ජනගහනයෙන් 40%ක් ආහාර වේල් සංඛ්‍යාව කපාහැරීමට පෙළඹී සිටින බවද වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව ආහාර අනාරක්ෂිතභාවය වැඩි වශයෙන්ම බලපා ඇත්තේ දකුණු පළාතට වන අතර එහි ජනගහනයෙන් අඩක් පමණ එනම් 48%ක ප්‍රතිශතයක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙමින් සිටිති. ඒ අනුව සබරගමුව පළාතේ 45%ක්ද, ඌව පළාතේ 43%ක්ද ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන අතර මධ්‍යම පළාතේ එම ප්‍රතිශතය 36%කි. මීට අමතරව උතුරු මැද පළාතේ ජනගහණයෙන් 35%ක්, බස්නාහිර පළාතේ 33%ක් සහ වයඹ පළාතේ 31%ක් ආහාර අනාරක්ෂිතභාවයෙන් බලපෑමට ලක්වී සිටිති.

ලෝක ආහාර වැඩපිළිවෙල සඳහන් කරන පරිදි ආහාර අනාරක්ෂිතභාවය අඩුවෙන්ම බලපා ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලටය.

එම වාර්තාවේ දැක්වෙන්නේ නැගෙනහිර පළාතේ ජනගහණයෙන් 26%ක් සහ උතුරු පළාතේ ජනගහණයෙන් 25%ක් මෙලෙස ආහාර අනාරක්ෂිතභාවයේ බලපෑමට ලක්වී ඇති බවය.

Facebook
Twitter
LinkedIn