එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මේ වනවිට පැවැත්වෙන සැසිවාරයට සහභාගී වී සිටින විදේශ ඇමති අලි සබ්‍රි, අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුළු ධූත පිරිස නවාතැන්ගෙන සිටින්නේ ඉතාම වියදම් අධික ජිනීවා හි පිහිටි ඉන්ටකොන්ටිනන්ටල් හෝටලයේ බවත් එහි දිනක කාමර ගාස්තුව පමණක් ඩොලර් 586ක් බවත් අනාවරණය වේ.
සැප්තැම්බර් 06 වෙනි දින සිට ශ්‍රී ලංකා ධූත පිරිස මෙම හෝටලයේ නවාතැන්ගෙන සිටියි. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ආරම්භක සැසිවාරයෙන් පසු යළි මෙරටට පැමිණි අතර මෙම සැසිවාරය ඔක්තෝබර් 10වෙනි දින දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ඔක්තෝබර් 07 වෙනි දින පැවැත්වීමට නියමිතය. මෙම කාලය පුරා ඇමතිවරු දෙදෙනා ඇතුළු නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් අඛණ්ඩව එහි රැඳී සිටින්නේදැයි තොරතුරු මේ වනවිට අනාවරණය වී නොමැත.
එක් කාමරයක දිනක කුළිය රුපියල් දෙලක්ෂ දහදහස් තුන්සියයකට (රු. 210,300) අධිකය. එම මුදල අයකරනු ලබන්නේ කාමරයට පමණක්ම වන අතර උදෑසන ආහාරයේ සිට සියලු වියදම් සඳහා විදේශ විනිමය යෙදවීමට සිදුවී තිබේ. රට තුළ දරුණු විදේශ විනිමය අර්බුදයක් පවතිද්දී සහ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී තිබෙන පසුබිමක පවා මේ ආකාරයේ විදේශ විනිමය මූල්‍ය අපරාධ මැති ඇමතිවරු සිදුකරමින් සිටී.










