ඩොලර් කොල්ල කා මෙට්‍රො හීන ගිනි තැබීම !

ඩොලර් කොල්ල කා මෙට්‍රො හීන ගිනි තැබීම !

රටම ගිනියම් වී අවසන්. ඇසල මාසයේ හමා එන වියළි සුළඟ ඒ ගිනිපුළිඟු තව තවත් අවුළුවනවා. ලක්ෂ 220ක මිනිසුන් ආශ්වාස කළ නොහැකි සේ හිරවෙලා. ඔවුන් එතැනම හිර කළ මූලික පදනම් කිහිපයක් තිබෙනවා. අවසානයේ එන්නේ එක තැනකට. මහජන ධනය මහජන දේපොළ කොල්ල කෑම. ධනය කොල්ල කා තිබෙන්නේ රුපියල්වලින් විතරක් නොවෙයි ඩොලර්වලිනුත්.

ලංකා ටෲත් පසුගිය 30 වෙනිදා හෙළි කළේ භීඊ එක උකස් තියලා ඩොලර් මිලියන 3750ක් ණය ගෙන ඇති බවයි. ජූනි 10 වෙනිදා නිකුත් කළ කෝප් කමිටු වාර්තාවෙන් මේ බව හෙළිවෙනවා. අද තිබෙන තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, ඖෂධ හිඟවීම, ආහාර අහේනිය කියන සෑම එකකට මුල මේ ඩොලර් කොල්ලය. ඒත් ඒ බව තේරුම් ගෙන සිටින්නේ අපි කීයෙන් කී දෙනාද?

ඩොලර් කොල්ලයට, රුපියල් කොල්ලයට රටේ සම්පත් කොල්ලයට ඍජුව වගකියන්න ඕන පිරිස් බලවත්. තවමත් ඒ් බලවතුන් ජන මනස හසුරවනවා. ඔව්… ජනමතය හසුරුවනවා. අපිට කිසිසේත්ම හැඟීමක්, දැනීමක් නොදැනෙන්න. ඒ කොහොමද? මාධ්‍යයෙන්. විශේෂයෙන්ම ඔඪ ප‍්‍රවෘත්තිවලින්. මිනිසුන් අද මොකද වුණේ කියලා ‘ප‍්‍රවෘත්ති’ යනුවෙන් හඳුන්වන දේ දිහා බලාගෙන ඉන්නවා. ඇත්තටම ඒ ප‍්‍රවෘත්තිද? නෑ… ‘ප‍්‍රවෘත්ති’ කියලා ඔවුන් අපට දෙන දේවල්.

ඒ දෙන්නේ මොනවාද? පෝලිම්වල මිනිසුන්ගේ ගෝරි, පොලිසිය සහ මිනිසුන්ගේ ගෝරි, දරුවන් එක්ක සියදිවි නසා ගන්න අම්මලා, දේශපාලකයෝ එක එකා දත් විලිස්සා ගන්න ඒවා. මිනිස්සු මේවා බල බලා මානසික පීඩාව කඳු ගහගෙන බුදිය ගන්නවා. ප‍්‍රවෘත්ති කියලා ගහන මේ ගේම අපි හරියටම තේරුම් ගන්න ඕනෑ. තේරුම් ගන්න මූලාශ‍්‍ර කිහිපයක් කියන්නම් …”මාටිං ලූතර් කිං – ජීවිතය සහ මරණය” පොතේ ආරම්භය එකක්. ”නිනෝ ලයිව්” කියලා නම් කළ සිංහල චිත‍්‍රපටිය තව එකක්. මේවාට වඩා ආසන්නයේම ගන්න ටෙලි නාට්‍යයක් තියෙනවා.

”මෙට්‍රොහීන”… අයි.ටී.එන්. එකේ ගියේ. ඒකේ 89වෙනි කොටස. ටෙලි නාට්‍යය මේ වෙනකොට නිශ්චිත කේන්ද්‍රයකට ඇවිත්. මල් ශාලාවක් හිමි ගිනි පොලී මුදලාලිගේ පුතා ස්ටාර් තරගයක අන්තිම වටයට ඇවිත්. ස්ටාර් වෙන්න හීන දකින මේ කොල්ලා ශානික. අලූත්ම සිංදුවක් ඌ කියනවා.

සිහින නොදකින මිනිස් පුරයට
සෙනඟ ඇති තව රංචුවක්
ඔබේ සිහිනය මිළට ගැනුමට
ඔවුන් දෙයි පොඩි ළංසුවක්
තැවෙනු කුමටද ඔබව ඔවුනට
ඇහැට නොපෙනෙන අංශුවක්

මෙතනදි ගීතයේ පද පෙළ විග‍්‍රහ කරන්න යන්නේ නෑ. ඒත් කියවා ගත යුතුම පුංචි දෙයක් නොකියාම බෑ.. ඔබ දකින විසල් හීන ඔවුන් පුංචි ලන්සුවකට මිල කරන බව. ඒ වාගේම ”ඔබ, ඔවුනට ඇහැට නොවෙපනෙන අංශුවක්” බව. ඔව්, තෙල් පෝලිම් ගහ-මරා ගන්න, දරුවන් ගැන හිතලා ගින්නේ තැවෙන, හූල්ලන මිනිසුන් සියලූ දෙනාම ඔවුනට ‘අංශුවක්’ විතරමයි. ඔවුන් කියන්නේ කාටද? අර මුලින් කී ඩොලර් කොල්ලකෑ උන්ට. රටම කොල්ල කෑ උන්ට.

ස්ටාර් තරගයට ශානික තමන්ගේම සිංදුව කියලා ඉවර වෙනවා. දැන් තියෙන්නේ අවසාන තරගයට තේරුණ කෙනාව හඳුන්වා දෙන්න. හාට් බීට් එක වැඩි කරමින් කාලය ගලායන්න ඉඩදී ඉඳහිට වචනයක් දෙකක් නිවේදකයා හලනවා. ඒ අතර පාලක මැදිරියෙන් වැඬේ මෙහෙයවනවා.

‘ලයිව් ටූ ස්ටෑන්ඞ් බයි’
ෆයිව්… ෆෝ… ත්‍රී… ටූ…. වන්…. ……

දැන් තිරයේ දිස්වන්නේ ස්ටාර් තරගයේ ඉන්න ශානිකගේ ගෙදරට පැන්න මැරයන් ගේමක් දෙන හැටි. ලයිව් දෙනවා. ‘කට් කරන්නද මැඩම්’ මැදිරි පාලිකාව විධායක නිලධාරිනියගෙන් අහනවා.

‘එපා.. එපා.. මං කියන කල් ඉන්න… චුට්ටක් ඔහොම යං…’ විධායක නිලධාරිනිය කියනවා. මෙතන කරන්නේ ස්ටාර් තරගය ලයිව් දෙන අතර ශානිකගේ ගෙදරට මැරයෝ යවලා ගහලා වෙඩි තියලා… ඔව්, මේ ඩොලර් මංකොල්ලකාර මාධ්‍යය ප්ලෑන් කරලා කරන ගේමක්. ඒක ලයිව් දෙනවා. නවීන තාක්ෂණය යොදා ගෙන.

”අනේ ප්ලීස් මැඩම් කට් කරන්නම්”

”පිස්සු නැතුව ඉන්නවා තේජා”

”මේක නවත්තන්න” විනිශ්චය මණ්ඩලයේ තුන්දෙනාම කියනවා.

”රායිට් දැන් කට් කරන්න” විධායක නිලධාරිනිය කියනවා

‘ඔබේ හීනය මිලට ගැනුමට ඔවුන් දෙයි පොඩි ලන්සුවක් …’ තැවෙනු කුමටද ඔබව ඔවුනට ඇහැට නොපෙනෙන අංශුවක් …’

ඩොලර් කොල්ල කෑ මාධ්‍යය ව්‍යාපාරවලට යොදවා ගෙන තිබෙන උන් මිනිස් අපේක්ෂා විතරක් නොවෙයි, මිනිස් ජීවිතත් මනින්නේ මේ විදිහට.

”මං කියන කල් කට් කරන්න එපා… රායිට් දැන් කට් කරන්න”

ප‍්‍රවෘත්ති සංස්කරණය කරන්නේත් ඔන්න ඔහොමයි.

ඩොලර් කොල්ල කාලා රටක් ගිනි තබා වැනසූ උන්, අපේ මහජන අරගලය සංස්කරණය කරන්න සැලසුම්කර තියෙන්නෙත් ඔය වගේමයි. ඔය මාධ්‍යවලට යොදවලා තියෙන්නේ බොහෝමයක් කළු සල්ලි. ඩොලර් කොල්ල කෑ කළු සල්ලි වෙන්නත් පුළුවන්. බැසිල් මුදල් ඇමතිවෙලා හිටිය කෙටි කාලයේදී ලොකු හෙළිදරව්වක් කළා.

දිවයින පත්තරෙන් බැසිල් එක්ක කර තිබුණු ඉන්ටවීව් එකකදී 2009, 2010 කාලයේ ඔවුන්ගේ ආණ්ඩුව කළු සල්ලි මාර්කට් එකෙන් ඩොලර් ගත්ත බව කියා තිබුණා. ඒවගේ මාර්කට් එකක් තියෙන එක හොඳයි කියලත් තිබුණා. මුදල් ඇමති නිල වශයෙන් ඩොලර් මංකොල්ලකාරයන්ට අනුමැතිය දී තිබණේ එහෙමයි. මේ මාධ්‍යවල වැඩිපුර දුවන්නේ රුපියල් වුණත් ඩොලර් වුණත් ඒ කළු සල්ලිමයි.

ඉතින් ‘සතයෙන් සතය එකතු කරලා එකතු කරලා’ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කළාට පස්සේ ඒ බැංකුවත් උකස් කරලා ඩොලර් මිලියන 3750ක් අරගෙන.

මහජන අරගලය උන්ට ඕන විදිහට කට් කරන්න ඉඩ නොදිය යුතුයි. අපේ දරුවන්ට රටක්, රටේ ඉතිරි සම්පත් ටිකක් රැුකදෙන්න ඕන නිසා, හොඳ අවබෝධයෙන් හැමදේම තේරුම් ගන්න ඕනෑ. අරගලය දිනවන්න ඕනෑ. මුළු රටම එක තැනක ගල්වෙලා තියෙන මොහොතක උණුසුම් මිනිස් හැඟීම් උදාර අරමුණු වෙනුවෙන් පෙළගස්වන්න ඕනෑ. අපට තිබෙන එකම මෙට්‍රො හීනය ඒකයි. ඩොලර් යොදවලා ඇති කරන ගින්දරවලින් අපේ ඒ හීනය ගිනි තියන්න කිසිවෙකුට කිසිසේත්ම ඉඩදෙන්න බැහැ.

ඒක එහෙම නේද?

නන්දිමිත්‍රගේ සටහන

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්