සමාන්තර හමුදාවක් ලෙස සිටින මැර කණ්ඩායමකගේ ප්‍රහාරයක් නොසලකා හැරීම බරපතළ අනතුරක් යැයි ජනතා විමුකිත් පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි. ඔහු මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස්…
“ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහභාගි වූ ගම්පහ දිස්ත්‍රික් සමුළුවවට මැර ප්‍රහාරයක් එල්ල කළ දෙදෙනෙකු අල්ලා දුන් පසුව පරීක්‍ෂණ නොපවත්වා ඔවුන් නිදහස් කර හැරීම පිළිබඳව අපට බරපතළ ගැටලුවක් තිබෙනවා. ප්‍රහාරය සිද්ධ වෙන විටම මේකට ආණ්ඩුව සම්බන්ධ බවට, ජනාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් බවට අපට සැකයක් තිබුණා. පරීක්‍ෂණ සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් වන ආකාරය නිසා ඒ සැකය තහවුරු වී තිබෙනවා. ආණ්ඩුව මෙයට සම්බන්ධ නැත්නම් සැකකරුවන් දෙදෙනාව ගෙදර යවන්නේ නැහැ. මේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් නොකර නිදහස් කර යැවීම බරපතළ සිද්ධියක්. මෙයින් පැහැදිලි වෙන්නේ ජනාධිපතිවරයාගේ මට්ටමේ ඉඳලාම සම්බන්ධයක් මෙයට තිබෙන බවයි.
ප්‍රදේශයේ සාමාන්‍ය කිහිප දෙනෙක් එකතු වෙලා මේ පහර දීම කළා නම් මේ වනවිටත් පරීක්‍ෂණ පවත්වලා ඉතිරි කට්ටියත් සොයා ගෙන අවසානයට යනතුරුම පොලීසිය ක්‍රියා කරනවා. මේ සිද්ධියේදී පරීක්‍ෂණ පැවැත්වීීමට ඉහළ බලපෑම් තිබෙන බව අපට සම්පූර්ණයෙන්ම තහවුරු වී තිබෙනවා. ඒ නිසා අපිට මේ සිද්ධිය පිළිබඳව ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. ආණ්ඩුව පැත්තෙන් දැන් වෙනස් ප්‍රබන්ධයක් කරගන යන බව අපිට වාර්තා වෙනවා. සමුළුව බලන්න ගිය දෙන්නෙක් ප්‍රහාරයට සම්බන්ධ බව කියලා පොලීසියට බාර දුන් බව කියන්න උත්සාහ කරනවා. නමුත් සී.සී.ටී.වී. දර්ශනවල පාරේදී මේ දෙදෙනා අල්ලා ගත් බව රූපවාහිනි මාධ්‍යවලින් විකාශනය කළා. ඒ අනුව පැහැදිලි වෙන්නේ ප්‍රහාරයට සම්බන්ධ දෙදෙනෙක් අල්ලා ගෙන පොලිීසියට බාරදෙන බවයි. ඊට සම්බන්ධ අයගේ නම් සහ ඔවුන්ට රු. 5000කට කොන්ත්‍රාත්තුවක් දුන් බව ප්‍රකාශ කළා. ඔවුන්ගේ මේ ප්‍රකාශ සම්බන්ධයෙනුත් තොරතුරු ලබා දුන්නත්, පොලිස් පැමිණිල්ලක් තිබියදීත් සී.සී.ටී.වී. දර්ශන තිබියදීත් ඒ සියල්ල පැත්තකට දාලා. ඒ පුද්ගලයින් දෙන්නා නිදහස් කළේ ආණ්ඩුවේ බලපෑමෙන් බව ඉතා පැහැදිලියි. මේ පිරිස ආණ්ඩුවට සම්බන්ධ නිශ්ශංක සේනාධිපතිගේ මැර කණ්ඩායමක් බව ඉතාම පැහැදිලියි.
මීට කලිනුත් අපි අසිත කුමාර සහ ආනන්ද බණ්ඩාර යන පුද්ගලයින් දෙදෙනා ඇවන්ට් ගාඞ් එකේ රැකියා කරන බව තහවුරු වී තිබෙනවා. ආනන්ද බණ්ඩාර ඇවන්ගාඞ් එකෙන් මන්චි ආයතනයේ ආරක්‍ෂක සේවයට යොදවා තිබෙනවා. අසිත කුමාර ඇවන්ගාඞ් එකේම ආරක්‍ෂාවට ඉන්නවා. ඔහු නිශ්ශංක සේනාධිපතිගේ පෞද්ගලික ආරක්‍ෂක කණ්ඩායමේ ඉන්න බව ඡායාරූපවලින් පැහැදිලි වීී තිබෙනවා. නිශ්ශංක සේනාධිපති ජනාධිපති කොමිසමට සාක්‍ෂි දීමට පැමිණෙන වෙලාවේ ඔහුගේ ආරක්‍ෂාවටත් මේ පුද්ගලයා එන බව ඡායාරූපවලින් පැහැදිලි වෙනවා. නිශ්ශංක සේනාධිපතිගේ පෞද්ගලික ආරක්‍ෂකයෝ අපේ සමුළුව බලන්න එන්නේ මොකටද? ඔවුන් පැමිණ ප්‍රහාරයක් එල්ල කළත් අපේ ආරක්‍ෂක කටයුතු නිසා පැන යන්න බැරිවුණා. පොලීසියට බාර දුන් දෙන්නා ප්‍රකාශ කළේ 16 දෙනෙක් පැමිණි බවයි. මේ පිරිස සොයා අත්අඩංගුවට ගැනීම පොලීසියේ රාජකාරියයි. නමුත් ඒ කිසිවක් නැතිව පොලීසියට බාර දුන් දෙන්නත් එළියට දැම්මා.
ආණ්ඩුව දේශපාලන බලපෑම් කරලා වහන්න යන මේ සිද්ධිය බරපතළ බව අපි ජනතාවට කියනවා. මේ සිද්ධියට පසුව වෛද්‍ය සිසුන්ටත් රාත්‍රී කාලයේ මැර ප්‍රහාරයක් එල්ල කළා. එයත් හෙළා දකිනවා. වෛද්‍ය සිසුන් එකතු වෙලා වාහනයක් සහ එක පුද්ගලයෙක් අල්ලා ගත්තා. වාහනය පොල් සංවර්ධන මණ්ඩලයේ බව, අල්ලා ගත් පුද්ගලයා අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාගේ පෞද්ගලික සේවකයෙකු බවත් හෙළි වුණා. පොලීසිය මේ සියලු තොරතුරු හොයා ගත්තා. මේ සිද්ධියේදී පොලීසියට තොරතුරු හොයාගන්න බැරිවුණේ ඇයි? එතන ඇවන්ගාඞ් හිටියේ නැහැ. අපට පහර දීීමේ ඇවන්ට් ගාඞ් හිටියා. එක සමාන සිද්ධි දෙකෙකදී පොලීසියට දෙයාකාරයකට කටයුතු කරන්න සිදුවී තිබෙනවා. පොලීසියට පරීක්‍ෂණ කරන්න අවශ්‍යතාවය තිබුණත් ඉහළින් එන බලපෑම් නිසා කරන්න බැරිවී තිබෙනවා. මෙතන තියෙන්නේ සරල ප්‍රශ්නයක් නෙවෙයි. නීතියෙන් කටයුතු කළා නම් අපටත් මේක උස්සගෙන යන්න ඕනෑ නැහැ. නමුත් මේ ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ සහ හැසිරීම්වලින් තහවුරු වෙන්නේ මෙය අත්හැර දාන්න බැරි බවයි. නිශ්ශංක සේනාධිපතිගේ සහ ආණඩුවේ බලපෑම් නැතිව මේ දෙන්නට මෙතනට එන්න බැහැ. ජනාධිපතිවරයාගේ අවබෝධය ඇතිව හෝ නිශ්ශංක සේනාධිපති විසින් එවූ පිරිසක් බව පැහැදිලියි.
ඇවන්ට්ගාඞ් ආයතනය ලංකාවේ තිබෙන නවීන අවි ආයුද සහිත ගබඩා තිබෙන ඒ අවි හැසිරවීීමේ පුහුණුව ලත් අය සිටින ආයතනයක්. සන්නද්ධ හමුදාවල සේවය කර විශ්‍රාම ගිය බොහෝ දෙනා මෙතන කටයුතු කරනවා. ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. වගකියන්න කෙනෙක් නැැහැ. අවි දරන සමාන්තර හමුදාවක් ලෙස සිටින මැර කණ්ඩායමකගේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ නොකර සිටීම බරපතළ අනතුරක්. ඔවුන් පිළිබඳව පරීක්‍ෂණ නොකර අත්හැර දමන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් ඉදිරියේදී මීට වඩා බරපතළ දේවල් සිදුකළ හැකියි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්ධුරය දරන කාලයේ සිදුකළ ඝාතන රැසක් සම්බන්ධයෙන් තාමත් වගකිව යුත්තෝ නැහැ. තාජුඩීන් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, ලලිත්-කුගන් දෙදෙනා යාපනයේදී අතුරුදහන් කිරීම ඇතුළු අපරාධ රැසක් සිදුකර තිබෙනවා. අපරාධයක වගකිව යුත්තන් සොයා ගැනීමට බැරිවී තිබෙනවා නම් ඒ මොහොතේදී බලයේ සිටි ආණ්ඩුවට සම්බන්ධයක් තිබෙනවා. ගෝඨාභ්‍ය රාජපක්‍ෂ මහත්තයා ආරක්‍ෂක ලේකම් වෙලා සිටි කාලයේදී මර්දනකාරී කළු අතීතයක් තිබෙනවා. එතුමාගේ හොඳම සහායකයා බවට නිශ්ශංක සේනාධිපති පත්වීී සිටිනවා. ඔහුට ජනතා විමුක්ති පෙරමුණ පිළීබඳව බරපතළ කෝපයක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ පරද්දන්න රුපියල් කෝටි 50ක් වියදම් කරන බවට වහසි බස් දොඩපු පුද්ගලයෙකුට සම්බන්ධ පිරිසක් සමුළුවට එල්ල කළ මේ ප්‍රහාරය බරපතළ එකක්.
ඔහුට අයත් දෙදෙනෙකු පොලීසියට අල්ලා දීලත් පරීක්‍ෂණ පවත්වන්න අසමත් නම් බරපතළම ප්‍රශ්නයක්. ඒ නිසා මෙය අත්හැර දැමිය නොහැකියි. මෙවැනි තත්වයන්ට එරෙහිව ක්‍රියා කිරීමේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දෙනාට තිබෙනවා. මේක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපතිවරයාගේ බලතල 20වැනි සංශෝධනයෙන් වැඩිකරගෙන 2/3 බලයකුත් තියාගෙන අපිට ප්‍රහාර එල්ල කරන්නේ ඔවුන්ගේ බලය අයිස් කන්දක් වගේ දියවී යන නිසයි. ආණ්ඩුවෙන් ගැලවී යන බොහෝ දෙනා ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් ජනතා ප්‍රසාදයට පත්වී ශක්තිමත් වෙනවා. ඒ නිසා ඔවුනට තිබෙන අභියෝගය ජාතික ජන බලවේගයයි. ඒ නිසා ජාතික ජන බලවේගය බියවද්දා නතර කරන්න ඔවුන් උත්සාහ කරනවා. ඔවුන් දුර්වල වෙමින් ජාතික ජන බලවේගය ශක්තිමත් වෙන බව මේ පහර දීමෙන් ඔවුන් පිළිඅරගෙන තිබෙනවා. ප්‍රහාරයට පැමිණි අය ප්‍රකාශ කර තිබුණේ ප්‍රශ්නයයක් වුණොත් බේර ගන්න අය සිටින බවයි.
ආයුද තබාගෙන ඉන්න සමාගමක මැර කණ්ඩායමක් පොලීසියට අල්ලා දීමෙන් පසුව ක්‍රියා කරන්නේ මෙහෙම නම් රටේ ජනතාවගේ ආරක්‍ෂාව සලසන්නේ කොහොමද? ජනතාව ආරක්‍ෂා කරනවා වෙනුවට මැර හමුදා, පාදඩ කණ්ඩායම් ආරක්‍ෂා කරනවා නම් බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසා මේ තත්වය පරාජය කරන්න පෙළ ගැසීම හැර වෙන විිකල්පයක් නැහැ. ජාතික ජන බලවේගය තවත් ශක්තිමත් වී ලැබෙන පළවැනි මොහොතේදීම මේ ආණ්ඩුව පරායට පත්කරන්න ක්‍රියා කරනවා. ඒ වගේම මේ ප්‍රහාරකයන්ට විරුද්ධව නීතිය මගින් කටයුතු කරන තෙක් අපි මේ සටන ගෙන යනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාට අපි අනතුරු අඟවන්නේ ඉදිරියේදී හෝ ජාතික ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කිසිවෙකුට හෝ අනතුරක් සිදු කළහොත් ඒ සම්බන්ධ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බාර ගත යුතු බවයි. මැර කණ්ඩායම්වලට ලයිසන් දීපු සංඥාවක් මෙතන තිබෙනවා. ආණ්ඩුව මීට සම්බන්ධ නැත්නම් මීට සම්බන්ධ සියලු දෙනා අධිකරණයට ඉදිරියට ගේනන ඕනෑ. මෙවැනි පාදඩ ක්‍රියා අනුමත කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන හැම දෙනාම මෙවැනි තත්වයන් පරාජය කරන්න පෙළගැසෙන ලෙස ඉල්ලා සිටිනවා.”










