පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුවත් දේශපාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් එමෙන්ම ආණ්ඩුවට එක නීතියක් සහ විපක්ෂයට එක නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ජනතාවට හිංසා කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (02) දින පැවති නඩු විභාගයක තීන්දුව ලබාදෙමින් ලබා දෙමින් පොලිසියට අවවාදාත්මක ලෙස ප්‍රකාශ කර ඇත.
ඒ 2021 වසරේ ජූලි 08 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් අකුරැස්ස නගරයේදී පැවැත්වූ විරෝධතාවයේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා දෙකකට විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමිනි.
මීට පෙර අවස්ථා දෙකකදී නඩුව විභාග වූ අතර අද දින නැවත එම නඩු විභාගයට ගත් අවස්ථාවේදී, අධිකරණය භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමක් බව පිළිගත් අතර අපරාධමය වරදක් ලෙස පෙන්වීමට බලවත් සාක්ෂි තිබිය යුතු බවත් එවැනි සාක්ෂි කිසිවක් මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පවසමින් විත්තිකරුවන් 13 දෙනාම නිදොස් කොට නිදහස් කර තිබේ.
කොතලාවල පනතට විරෝධය පළ කිරීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම, ජීවන බර ඉහළ දැමීම, පොහොර සහනාධාරය ලබා නොදීම යන කරුණු හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 2021 ජූලි මස 08 වන දින කුරැස්ස නගරයේදී මෙම විරෝධතාවය පවත්වනු ලැබුවේය. එදින අකුරැස්ස පොලිසිය මගින් විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කළේය.










