ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතුවලට බාධාවක් ඇතිවන සහ නීතියේ පිළිගත් මූලධර්ම උල්ලංඝණය කරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කර තිබේ.
‘අධිකරණයක් නොවන සහ ස්වාධීන නොවූ අයතනයකට රුපියල් කෝටියක් (මිලියන 10ක්) දක්වා වූ දඩයක් පැමිණවීමේ බලය ලබා දෙමින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් ඉදිරිපත් කර ඇති පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්මත කිරීමට පෙර එහි වගන්ති 09ක් සංශෝධනය කරන ලෙස ඉන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයට, තොරතුරු දැන ගැනීමේ කොමිසමට, මානව හිමිකම් කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාටද එම ලිපියේ පිටපත් යොමු කර ඇත. පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔවුන්ගෙන් ඉල්ලා තිබේ.
ජනවාරි මස 20 වැනිදා අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන සහ බලය හීන වන බවත්, පෞද්ගලික දත්ත ජනමාධ්‍ය කටයුතු සඳහා භාවිත කිරීමට දැඩි බාධාවක් එල්ලවන බවත්, ඒ සම්බන්ධයෙන් චෝදනා විභාග කිරීමට මෙන්ම දඬුම් නියම කිරීමටද ස්වාධීන නොවන ආයතනයකට බලය හිමිවන බවත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සාමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් යොමු කළ ලිපියේ සඳහන් වේ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ තීරණයක් අනුව එහි සිමාජිකයන් දෙදෙනකු වන තරිඳු ජයවර්ධන සහ එම්.එෆ්.එම් ෆසීර් මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පසුගිය 27 වැනිදා විශේෂ පෙත්සමක් ගොනු කළ බවද, කාලාවරෝදය සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතාවක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප්‍රභ කළ බවද, පෙත්සම නිශ්ප්‍රභ කළද පනත් කෙටුම්පත සංශෝධනය නොකර සම්මත කළහොත් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කිහිපයක් මෙන්ම පිළිගත් නීති සිද්ධාන්තද උල්ලංඝණය වන බවද ඔවුන් විසින් යොමු කරන ලද ලිපියේ සඳහන්ය.
පිටු දහයකින් යුත් එම ලිපිය පහත දැක්වේ.










