ජනවාරි මාසයේදී මෙරට වෙළඳපොලේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් 25% දක්වා ඉහල ගොස් ඇති බව නවතම මහ බැංකු නිවේදවලින් අනාවරණය වේ.
ජනාධිපතිවරයා ක්ෂණිකව රසායනික පොහොර තහනම් කිරීම නිසා රට තුළ විශාල ආහාර අර්බුදයක් ඇති වෙන බවට ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. එම අනතුරු ඇඟවීම් නොතකා ක්‍රියා කිරීම නිසා මේ වනවිට වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය හිඟයක් සහ වේගයෙන් මිල ඉහල යාම යන ප්‍රතිවිපාක දෙකම සිදුවෙමින් පවතී.
පසුගිය වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක් තුළ මෙරටට ඩොලර් මිලියන 415ක එළවලු සහ පළතුරු ආනයනය කරන ලද බව මහ බැංකු නිවේදනයකින් මෙයට පෙර හෙළිවී තිබිණි. එසේම, පසුගිය ජනවාරි මාසයේදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබිණි. ඊට අමතරව චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් ආනයනය කිරීමට ආණ්ඩුව සූදානම් වේ.
මේ අනුව, වාර්ෂිකව මෙරට සහල් අවශ්‍යතාව වූ මෙට්‍රික් ටොන් ලක්ෂ 24න් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් විදේශයන්ගෙන් ලබා ගැනීමට මේ වෙන විට ද ආණ්ඩුව ක්‍රියා කරමින් සිටී. ඩොලර් හිඟය මෙන්ම රුපියලේ අගය කඩා වැඩීම නිසා ද ආනයනික භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහල යමින් පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන නිල නිවේදනවලින් මෙරට වෙළඳපොලේ පවතින සැබෑ මිල ගණන් නිරූපණය නොවන තත්වයක් තුළ පවා ආහාර මිල 25%කින් වැඩිවී ඇති බව මෙයින් තහවුරු වී ඇත.










