පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ සුමිත් ධුරයෙන් ඉවත් කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කරයි.
ඒ විකිනීම සහ භාවිතය තහනම් කර තිබූ ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05ක එම තහනම ඉවත් කිරීම හේතුවෙනි.
රජයේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන බවද විනය පියවර ගන්නා බවද ඇමති මහින්දානන්ද පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ, ඊයේ (22) නිකුත්කළ නව ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසද තමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට නියෝග කළ බවය.
පළිබෝධ නාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ සුමිත් විසින් ඊයේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ “1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ, 11 වන වගන්තිය මගින් මා වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව, පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්, ජයකොඩි ආරච්චිගේ සුමිත් වන මා විසින්, මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදේශය මත, මේ නියමය මගින්, ඉහත සඳහන් පනතේ 11 වන වගන්තිය යටතේ සාදන ලද සහ 2014 දෙසැම්බර් මස 22 වන දින අංක 1894/4 දරන අති විශෙෂ ගැසට් පත‍්‍රයේ පළ කරන ලද නියමය අවලංගු කරනු ලැබේ.” යනුවෙනි.










