“ඔස්ට්‍රේලියාව ළමා ජනගහනයෙන් සාමාන්‍ය දරුවෙකුට වඩා 24 වාරයක් එහි වෙසෙන 2%ක් පමණ වන ආදී වාසි ජනතාවගේ දරුවෙකුට රටේ අපරාධ හේතුවෙන් සිරගත වීමට ඇති ඉඩකඩ වැඩිය”. 2008 වසරේදී මෙම ප්‍රකාශය කරනු ලැබුවේ ඕස්ට්‍රේලියානු හිටපු අගමැතිවරයෙකු වන Kevin Rudd විසිනි. ඔහු මෙම කතාව එරට පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබුවේ 1910-1970 කාලය තුලදී ආදීවාසි දරුවන් පැහැර ගෙන ගොස් බලයෙන් සුදු සමාජයට (assimilation) ස්වීකරණය සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිගනිමින් එම ජනතාවගෙන් සමාව අයදිමිනි. නමුත් සුදු පාලකයන් විසින් 1910-1970 සිදුකරන ලද බලෙන් ස්වීයකරණය කිරීමේ අපරාධය පිළිගැනීමට හා ඒ වෙනුවෙන් වන්දි ලබාගැනීමට ආදීවාසි ජනතාවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දීර්ඝ අරගලයක් කිරීමට සිදුවී තිබිණි.
“ඕස්ට්‍රේලියාවේ සොරකම් කල පරපුර” හෙවත් Stolen Generation ලෙස පසුව ප්‍රකට වූ මෙම ජාතිවාදී ව්‍යාපෘතිය මගින් බ්‍රිතාන්‍ය පාලකයන් ඉලක්ක කරනු ලැබුවේ සුදු ජාතිකයෙකුට දාව ඉපදුනු මිශ්‍ර දරුවන් එම පවුල් වලින් වෙන්කර වඩාත් සුදු ප්‍රජාවක් බිහිකර ගැනීමටයි. මෙම ව්‍යාපෘතියේ නිර්මාර්තෘවරුන් මෙම මිශ්‍ර ප්‍රජාව සුපරිසිදු සුදු ජාතිකත්වයට තර්ජනයක් ලෙස සලකා තිබිණි. ඒ අනුව මෙම මිශ්‍ර දරුවන් ලක්ෂයක් ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් බලහත්කාරයෙන් වෙන්කර රජයේ ආයතන වලට, සුදු පවුල් වලට හා පල්ලියට ලබදෙන ලදී. එහිදී ඔවුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් කතා කිරීමට හා ඔවුන්ගේ සංස්කෘතික ජිවන රටාව තුල ජීවත්වීම තහනම් කරන ලදී. මෙම නියෝග පිළිනොගන්නා දරුවන්ට දරුණු වදහිංසා වලට හා ඇතැම්විට ලිංගික අතවර වලට පවා මුහුණ දීමට සිදුවිණි. මෙම ශෝචනීය යුගය සම්බන්ධයෙන් කතා කිරීමට හෝ ආදීවාසී ජනතාවට එරෙහිව සිදුකරන ලද මෙම ජන සංහාර අපරාධයට සමාව ගැනීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කිසිවිටකවත් ඉදිරිපත් නොවුහ.
1997 දී එලි දැක්වූ “Bringing Them Home” නම් වාර්තාව විසින් මෙම මානව ඛේදවාචකය පළමුවරට ලොවට හෙළිකරන ලදී. 1999 වසරේ මෙම ජන සංහාරය අනුස්මරණය කිරීම සඳහා පැවති “National Sorry Day” පෙළපාලියට මිලියනයක ජනතාවක් සහභාගී වූහ. මෙම මානව විරෝධී ඛේදවාචකය එජා සංවිධානයේ මානව අයිතිවාසිකම් කොමිසමද මෙම වසරේ ජනවාරි 21 දා හෙලා දකින ලද්දේ වර්තමානයේදීත් ආදිවාසී ජනතාවට එරෙහිව සිදුවන ජාතිවාදයට එරෙහිව කැන්බරා බලධාරින් ගනුලබන පියවරයන් ප්‍රමාණවත් නොවන බවට යලි යලිත් පෙන්වා දෙමිනි. ඕස්ට්‍රේලියානු ළමා සිරකරුවන් අතරින් 60% ප්‍රමාණයක් අදත් ආදී වාසි ජනතාවගේ දරුවන්ගෙන් සමන්විත බව එම වාර්තාව තවදුරටත් පෙන්වා දෙනු ලැබීය.
රටේ සාමාන්‍ය දරුවන්ට සාපේක්ෂව ආදී වාසි ජනතාවගේ දරුවන් මුහුණ දෙන අධ්‍යාපනය, රැකියා හා සෞඛ්‍ය යන කේෂ්ත්‍ර වල පවතින මෙම අසමානත්වය අවසන් කරලීම සඳහා Kevin Rudd රජය 2008 දී ඩොලර් මිලියන 440ක් වෙන්කරනු ලැබුවේ සිදුවූ මානව විරෝධී අපරාධයට ප්‍රථම වරට ආදිවාසී ජනතාවගෙන් සමාව අයදිමිනි. නමුත් මෙම පියවරයන් ප්‍රමාණවත් නොවන බවට එජා මානව අයිතිවාසිකම් කොමිසම පෙන්වා දෙනු ලැබිණි. 2021 අප්‍රියෙල් මාසයේ ආදී වාසී ජනතාව තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව එරට අධිකරණයෙන් වන්දි ඉල්ලා නඩුවක්ද දමන ලදී.
දේශීය හා ජාත්‍යන්තරව එල්ලවන පීඩනය හමුවේ ඊයේ ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් ඩොලර් මිලියන 336ක් බලෙන් ස්වියකරණය ව්‍යාපෘතිය මගින් විපතට පත් ආදී වාසි ජනතාවට වන්දි ගෙවීමට වෙන්කරන ලදී. ඒ අනුව මෙම ඛේදවාචකයට ගොදුරු වූ ලක්ෂයක් පමණ වූ ආදිවාසි ජනතාවගෙන් මේ වනවිටත් ජිවතුන් අතර සිටින 3600 දෙනෙකුට එක අයෙකුට ඩොලර් 57000ක වන්දියක් ඒ අනුව හිමිවනු ඇත. එහිදී ඍජුවම මෙම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව ලෙස කොන්දේසියක් දැමීමෙන් ඕස්ට්‍රේලියානු රජය මෙම වන්දි ලබාදීමේදීත් කපටි සහගත ක්‍රියාවලියක දී සිටින බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරනු ලබයි.
1788 දී බ්‍රිතාන්‍යය විසින් ඕස්ට්‍රේලියාව ආක්‍රමණය කරන විට ආදී වාසි ජනගහණය මිලියනයක් වූ අතර ඔවුන්ට එරෙහිව ඉතා සැලසුම් සහගතව සිදුකරන ලද විවිධ මානව විරෝධී ව්‍යපෘති හමුවේ ඔවුන්ගේ ජන සංයුතිය ඕස්ට්‍රේලියාවේ මිලියන 25 වන වර්තමාන ජනගහනයෙන් 2% දක්වා පහතට ඇදවැටී ඇත.










