මාසයකට අධික කාලයක් ඇමෙරිකාවේ ගත කර ඇමරිකාවේ සිට ඊයේ (24) පෙරවරුවේ යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ලබන 06 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව ඇත්තේ පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් ලෙසය.
එමෙන්ම බැසිල් රාජපක්ෂ මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දීමට අවස්ථාව සැලසීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉල්ලා අස්වීමට නියමිත බවද වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම පස්වරුවේ බැසිල් රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම ඔහු ඇමති ධුරයෙහි දිවුරුම් දීමෙන් පසු වැඩි කරනු ලැබූ පෙට්‍රල් මිල රුපියල් 5ත් 7ත් අතර ගණනකිනුත්, ඩීසල් රුපියල් 03ත් 05ත් අතර ගණනකිනුත් අඩු කරනු ඇතැයි අපේක්ෂිතය.
ජනාධිපතිවරයා රසායනික පොහොර තහනම සම්බන්ධයෙන් සිටන දැඩි ස්ථාවරය වෙනස් කර වගාවලට අවශ්‍ය පොහොරවලින් 50%ක් රසායනික පොහොර භාවිතයට අවසර ලබා දෙනු ඇතැයිද අපේක්ෂිතය.
බැසිල් රාජපක්ෂ 2010 – 2015 රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධූරයද හෙබවීය. ඉන් පසු 2015දී පැවති මැතිවරණයෙන් පරාජය වීමත් සමග ඡන්ද ප්‍රතිඵල අවසන් වීමටත් පෙර ඔහු සිය මව් රට වූ ඇමරිකා එක්සත් ජනපදයට පලාගියේය.










