ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරු දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
එලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ පාසල් දෙකක විදුහල්පිතිවරයෙකු සහ විදුහල්පතිනියක් ලෙස සේවය කරන අඹුසැමි යුවළකට වන අතර ඇල්පිටිය ප්‍රාථමික විද්‍යාලයක ඉගෙනුම ලබන, මෙම විදුහල්පති යුවළගේ වයස අවුරුදු හතක් වන දරුවා පසුගිය සතියේ පාසල් ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම විදුහල්පතිවරයා ඇල්පිටිය නගරයේ ජාතික පාසලක වැඩබලන විදුහල්පතිවරයා වන අතර විදුහල්පතිනිය ඇල්පිටිය වල්ලඹගල කනිටු විදුහලේ සේවය කරයි.
මීට අමතර එක්තරා රාජ්‍ය නොවන සංවිධානයකින් ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන් සදහා ඉකුත් 17 හා 18 යන දින දෙකේ ඇල්පිටිය ඌරන්වල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උත්සව ශාලාවක අධ්‍යාපන පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති අතර කොරෝනා ආසාදිත බවට හදුනාගත් මෙම විදුහල්පතිනියද 18 වනදා එම වැඩමුළුවට සහභාගී වී ඇත.
එම වැඩමුළුවට කලාපයේ විදුහල්පතිවරු හැට දෙනෙක් සහභාගී වූ බවත් එසේම ඒ අවස්ථාව වනවිටත් මේ විදුහල්පතිනිය කිසියම් අසනීප තත්වයකින් පසු වී සිට ඇති බවත් වාර්තා වේ.
විදුහල්පතිනිය සේවය කළ විදුහලේ සේවය කරන අනෙක් ගුරුවරු හත් දෙනාම නිරෝධායනයට යොමුකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසයි.
මීට අමතරව මෙම විදුහල්පතිනිය හා විදුහල්පතිවරයාගේ ආශ්‍රිතයන් හැටියට හදුනාගත් ගුරුවරු ඇතුළු සියළු දෙනාද නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.










