ටී-56 ජීව උණ්ඩ 15ක් කටුනායක ගුවන් තොටුපොළට ගෙනගිය SI අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ටී-56 ජීව උණ්ඩ 15ක් සමග ඇතුළු වීමට තැත් කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (19) ගුවන් තොටුපළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම වන අවස්ථාව වනවිට පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක්ද කටුනායක ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු අයෙකු බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු මාධ්‍යවෙත අනාවරණය කර තිබේ.

ඔහු මෙම ජීව උණ්ඩ තොගය රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කිරීමේදී එහි ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය වෙත භාර දී තිබේ. අත්අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කරමින් සිටියි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්