ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර අතේ බැඳන් හිටියේ සුදු පාට නූලකි. හැට නව ලක්ෂයක් ජනතා ඡන්දයෙන් ජනපති පදවියට පත්වීමෙන් පසු ජනපතිවරයාගේ දකුණු අතේ බැඳ තිබූ සුදු නූල කෑඩි ගොස් එම ස්ථානයේම රතු පාට නූලක් ගැටගසා තිබෙනු දක්නට ලැබුණි. වැඩිදුර විස්තර සොයාබැලීමේදි අණාවරණය වුයේ මේ රතු නූල අතේ ගැටගසා ගත් අය අනුරාධපුර ප්‍රදේශයේ ජිවත් වෙන ඥාණක්කා නම් කාන්තාවගේ අනුගාමිකයන් බවයි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් මෙන්ම යුධහමුදාපති වරයා පවා මේ ඥාණක්කාගේ රතු නූල් කල්ලියේ සාමාජිකයන් බව මාධ්‍ය වාර්තා එළිදරවු කරන ලදි.
සමාජ මාධ්‍ය හරහා මේ පිලිබඳ බරපතල සංවාදයක් ගොඩ නැඟුනු පසු හදිසියේම ජනාධිපතිවරයාගේ දකුණු අතේ බැඳ තිබූ රතු නූල කැඩී ගියේය. ඥාණක්කාගේ උපදෙස් පරිදි දකුණු අතේ බැඳ තිබූ රතු නූල කාටත් වැඩියේ පේනනේ නැති ඉන වටා බැඳ ගැනීමට රතු නුල් කල්ලියේ සාමාජිකයන් ක්‍රියාකර ඇතැයි කනින් කොනින් වාර්තා වන්නට විය. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් නූල කැඩුන ජනපතිවරයාගේ රුව මාධ්‍ය හරහා දක්නට ලැබුණි.
නූල කැඩුන සරුංගලයක් පාලනයෙන් ගිලිහී යයි. සුලඟේ වාසිය ගෙන වඩාත් ඉහළ නගිනු වෙනුවට එහේ මෙහේ පාවෙන්නට ගනී. අන්තිමේදි කොහේ හෝ ගසා ගෙන ගොස් ගස් දෙබලක හෝ අධිබල විදුලි රැහැනක පැටලි ඉරී විනාශ වේ.
ගෝඨභය රාජපක්ෂ ජනපතිවරයාගේ වර්තමාන හැසිරිමද නූල කැඩුන සරුංගලයට දෙවෙනි නැත. හැට නව ලක්ෂයක් ජනතාව හා බැඳි තිබු විශ්වාසනීයත්වයේ නූල ජනපතිවරයා විසින්ම කඩා දමා ඇති බව පෙනෙන්නට තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අපකීර්තිමත් අදානි සමාගමට විකිණිමට ගත් තීරණයක් සමඟ “රට රකින්නට ආ අපේ විරුවා” යන විශිෂ්ඨ බ්‍රෑන්ඩ් ඉමේජ්(Brand image) එක මොහොතකින් විනාශ වී ගියේය. සහල් මාෆියාවට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරය දැක විනයක් සහිත කෙලින් වැඩ කරන නායකයෙකු ලෙස මහජනතාව අතර තිබූ පිලිගැනීම නැත්තටම නැතිවී ගියේය. තමන් ඇතුලු හැට නව ලක්ෂයක් ජනතාවගේ අපේක්ෂාව වූ ශ්‍රී ලංකාව සමාජ – ආර්ථික දේශපාලන හිනිපෙත්තටම ගෙනයනු වෙනුවට ජනාධිපතිවරයා විසින් සිය දෙඅත් මත ජනතාව විසින් රුඳවූ වගකීමේ නුල කඩා දමා ඇතැයි ඔහුව ජනපති පුටුවට ගෙන ඒමට මුල්වූ ගරුතර සංඝරත්නය ඇතුලු වෘත්තික සංවිධාන ද මැසිවිලි නගන්නට පටන්ගෙන තිබේ.
ජනපති ගොඨාභය රාජපක්ෂ බලයට ගෙනඒමට අතිමහත් කාර්යභාරයක් කල ප්‍රකට හිමිනමක් වන ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ජනපතිවරයාට වදාරන්නේ මේ රට විනාශ කල පුද්ගලයාට බලයට ඒමට උදවු කල කෙනෙක් ලෙස තමන්ගේ නම ඉතිහාසගත නොකරන ලෙසයි.
එහෙත් කටුක සත්‍යය නම් ගොඨාභය රාජපක්ෂ නූල කඩාගෙන ඇති බවයි. නූල කැඩුන ගෝඨභය රට සුරැකීම වෙනුවට රටේ සම්පත් විකිණීමට ක්‍රියා කරයි.එක රටක් – එක නීතියක් යැයි කිව්වට එක රටක් තුල තම ඥාති හිතවතුන්ට වෙනම නීතී ක්‍රියාත්මක කරයි. දූෂණයට තිත තබනවා යැයි කිව්වත් සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි දහස් ගණනක් රටට අහිමි කරයි.
නූල කැඩුන ජනපතිවරයා එහේ මෙහේ පාවෙන්නට පටන් ගෙන ඇති බව ඔහුගේ වැණෙනසුලු තීරණ මොනවට කියා පායි. නැගෙනහිර ජැටියේ 49% ක් ඉන්දියාවට ආයෝජනය කිරීමට දෙනවා යැයි මුලින් කිවූ ඔහු පසුව තම තිරණය වෙනස් කර ඒ 49% ඉන්දියාව, ජපානය ඇතුලු රටවල් කිහිපයකට විකුණන බව පවසයි. උදේ නිකුත් කරන ගැසට් එක සවස් වන විට දෙවරක් වෙනස් කරයි.
මෙසේ නුල කැඩී තමන්ව බලයට පත් කල මූලික අරමුණු වල පාලනයෙන් ගිලිහුනු ජනපති ගෝඨභය රාජපක්ෂ ගසාගෙන ගොස් දේශපාලන දෙබලක හිරවන බව ඒකාන්තය. එහෙයින් රටට වැඩිම හානිය කල පුද්ගලයාව බලයට ගෙන එමට උදවු කලා යන අපවාදයත් සමඟ ඉතිහාසයේ සනිටුහන් වීම හැර වෙන මඟක් පුජ්‍ය මැදගොඩ හිමි ඇතුලු කන්ඩායමට ඉතිරිව නැත.
දෙව්මිත් රාජසිංහ ලියයි.










