කාලයක් රටවිරුවන් ලෙස වත්මන් පාලකයන්ම හැඳින්වූ විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම ජාවාරමක් බවට පත්කරගෙන ඇති බවත් අඩුම තරමේ මෙලෙස ගෙන්වන අයගේ නාමලේඛනය සකස් කරන්නේ කෙසේද යන්න හෝ ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය නොදන්නා බවත් ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව අවධාරණය කරයි.
විශේෂයෙන්ම මැදපෙරදිග රටවල රැකියාවට ගොස් රැකියා කාලය අවසන් වීමෙන් වීසා අවලංගුවූ විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව දුක් විඳිමින් සිටින බවත් ඒ අතර කාන්තාවන්ට මුහුණදීමට සිදුව ඇති තත්වය ඉතාමත් ඛේදජනක බවත් ඔවූහු අවාධාරණය කරති.
පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනී අමරසූරිය, සරෝජා පෝල්රාජ්, සමන්මලී ගුණසිංහ සහ ව්‍රායි බල්තසාර් ඇතුළු ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව සංවිධානයේ නියෝජිතයින් සහ විදේශ ගත ශ්‍රමිකයින්ගේ ඥාතීන් විසින් ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශය වෙත පෙත්සමක් බාරදීම සඳහා පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් ඒ බව අවධාරණය කළේය.
විදෙස් ගතව මෙරටට පැමිණීමට නොහැකිව 80,000ක 90,000ක පමණ පිරිසක් සිටින බවත් ලංකාවට පැමිණීමේ ලේඛනයට තම නම ඇතුළත් කරගැනීමට තානාපතිකාර්යාල වෙත ඇමතුම් ලබාදීමේදී ටිකට් ලබා ගැනීම සඳහා මුදල් තිබේදැයි විමසන බවත් මුදල් නොමැතිනම් නම ඇතුළත් කිරීමට නොහැකි බව ඔවුන් පවසන් බවත් මෙහිදී අනාවරණය කරන ලදී. විශේෂයෙන්ම විදේශගත කාන්තාවන්ගේ දූ දරුවන් දෙමව්පියන්ද අද (19) මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් පවසන්නේ තම මවුවරුන්, දියණියන් වහාම මෙරටට ගෙන්වා දෙන ලෙසය.
මේ වනවිට කොවිඩ් ආසාදිනයෙන් 300කට අධික පිරිසක් විදේශගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් පිරිසක් ඇතිවන පීඩනයන් දරාගැනීමට නොහැකිව හටගන්නා මානසික ආතතිය හේතුවෙන් සියදිවි නසාගන්නා තත්වයට පත්ව ඇති බවත් එහිදී ඔවූහු අවධාරණය කළහ.
විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීම සඳහා අනුගමණය කරන වැඩපිළිවෙල කුමක්ද? එහිදී ගෙන්වීමට ප්‍රමුඛතාවය ලබාදෙන්නේ කුමණ පදනමකින්ද ? ආදිය වහාම රටට හෙළි කරන්නැයිද ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුව ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයට අවධාරණය කර දැනුම්දී තිබේ.
අඩුම තරමේ තමන්ට ලංකාවට පැමිණය හැක්කේ කුමන දිනයකද යන්න හෝ එම ශ්‍රමිකයින්ට දැනගතහැකි ක්‍රමවේදයක් සකසන ලෙසත් වීසා අවලංගු වීම, රැකියා ගිවිසුම් කාලය අවලංගු වීම ඇතුළු විවිධ හේතු නිසා ප්‍රශ්නවලට ලක්ව සිටින පිරිස රජයේ වියදමින් ගෙන්වීමට වැඩපිළිවෙලක් සකස් කරන්නැයිද දෙතුන් දෙනෙකුගේ ව්‍යාපාර ශක්තිමත් කිරීමට කටයුතු නොකර ඔවුන් ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යාංශයට මැදිහත්වන ලෙසද ඔවූහු ඉල්ලා සිටියහ.
යුක්රේ ජාතිකයින් මෙරටට ගෙන්වා රටවටේ යාමට ඉඩ ලබාදී ඇති පසුබිමක විදේස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගෙන ඔවුන් ඔවුන්ගේ නිවාස තුළ නිරෝධායනයට යොමු කිරීමට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ මන්දැයි ප්‍රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ නියෝජිතයෝ එහිදී ප්‍රශ්න කර සිටියහ.



























