ජනතාව ඡන්දේ දීලා දීලා එක එක ජාතියේ පඹයෝ ගෙනත් හිටවලා ඌරන්ට බැන බැන හිදීමෙන් පළක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
”ආණ්ඩුවට අවුරුද්දයි රට කොයිබටද” යන තේමාව යටතේ ඊයේ (18) සවස මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයකදී පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් දඹානේ ආදිවාසී නායක වන්නිල ඇත්තන් උදාහරණයට ගෙන සිදුකළ කතාවක් උපුටා ගනිමින් ඔහු වැඩිදුරටත් පවසන්නේ “අපේ රට හේනක් නම් ජනතාව ඡන්දේ දීලා දීලා එක එක ජාතියේ පඹයෝ ගෙනත් හිටවනවා. ඊට පස්සේ ඉන්දියාවේ ඌරෝ, චීනේ ඌරෝ වගේම රටේ වටේම එක එක ජාතියේ ඌරෝ ඇවිත් රට කනවා. ඉන්න පඹයා වෙනුවට තව පඹයෙක් ගෙනත් ඌරන්ට බැන බැන හිටියට වැඩක් නෑ. හේනේ අයිතිකාරයෝ දැනගන්න ඕන පඹයෝ හිටවලා ඌරන්ගෙන් බේරගන්න බෑ කියලා.”
ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාවට සෞභාග්‍යයේ දැක්ම නමින් පරිසරය, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, වංචාව – දූෂණය වැළැක්වීම, දේශීය සම්පත් ආරක්ෂා කිරීම ඇතුළු නොයෙකුත් ආකර්ශනීය පොරොන්දු වෙමින් ලබා ගත් ජනවරමට පිටුපාමින් කටයුතු කරමින් සිටීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ආචාර්ය හරිනි අමරසූරිය, මුනීර් මවුලවිතුමා, මහින්ද රත්නායක යන අයද අදහස් දැක්වීය.















