ඇෆ්ගනිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාන්තා විනිසුරුවන් දෙදෙනෙකු නාඳුනන තුවක්කුකරුවන් විසින් පසුගිය ඉරිදා උදෑසන මහමගදී වෙඩි තබා ඝාතනය කර තිබේ.
උදෑසන 8.30ට පමණ ඔවුන් රියදුරෙකු පැදවූ රථයක නැගී අධිකරණය වෙත ගමන් කරමින් සිටියදී සැඟවී සිටි තුවක්කුකරුවන් පාළු ස්ථානයකදී මෙම කාන්තා විනිසුරුවරියන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කර ඇති අතර ප්‍රහාරයෙන් ඔවුන්ගේ රියදුරු තුවාල ලබා ඇත.
ප්‍රහාරයෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ “භීෂණය, භීෂණය සහ අපරාධ” ඇෆ්ගනිස්ථානයේ ගැටලුවට විසඳුමක් නොවන බවත් “ස්ථිර සටන් විරාමයක්” පිළිගන්නා ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලා සිටින බවයි.
පසුගිය මාස කිහිපයේදී රජයේ නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් නාඳුනන තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයන්ට ලක්වී ඝාතනයට ලක්ව ඇති අතර විශේෂයෙන් කාබුල් අගනුවර ජනතාවට බිය ජනිත කරවන ස්ථානයක් බවට පත්ව ඇතැයි පැවසේ. ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ වෙනත් දේශපාලන පුද්ගලයින් ඉලක්ක කර ගත් ඝාතන මාලාවක් ඇෆ්ගනිස්තානයේ කලෙක සිට සිදුවන අතර එහි නවතම සිදුවීම වන්නේ අධිකරණ විනිසුරුවරුන් ඝාතනය වීමයි.
ඝාතනයට ලක්වූ මෙම විනිසුරුවරියන් තලේබාන් සංවිධානයට එරෙහි අධිකරණ තීන්දු ලබාදීමට කටයුතු කළ අය බව වාර්තා වන අතර තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ ප්‍රහාරයට ඔවුන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.
ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සහ තලේබාන් සංවිධානය අතර ස්ථීර සටන් විරාමයක් ඇති කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර කටාර් රාජ්‍යයේදී ආරම්භ කළ සාම සාකච්ඡා අර්බුදයට ලක්ව තිබේ. විශේෂයෙන්ම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ රඳවා සිටින ඇමරිකානු හමුදාව කණ්ඩ ඉවත් කරමින් පවතින බව පැවසේ. මේ වනවිට ඇෆ්ගනිස්ථානයේ දැන් ඉතිරිව ඇත්තේ ඇමෙරිකානු හමුදා භටයින් 2500 ක් පමණක් බව වාර්තා වේ.
කාබුල්හි කලඊෆතුල්ලා ප්‍රදේශයේදී සිදු වූ මෙම ප්‍රහාරයේ වගකීම කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් මේ දක්වා භාරගෙන නැත.












