මේ සමාජය තුළ මිථ්‍යාවට ලොකු වෙළෙඳපොළක් තියෙනවා

මේ සමාජය තුළ මිථ්‍යාවට ලොකු වෙළෙඳපොළක් තියෙනවා

අද ලාංකේය සමාජය තුළ බොහෝ දුක්ඛ ‍ෙදා්මනස්සයන්, අවුල් වියවුල් සහ අර්බුද දිනෙන් දින ඉහළ යමින් පවතින බවක් දැකගත හැකිය. සියවස් ගණනක සාඩම්බර ඉතිහාසයක් හිමි සංස්කෘතික හා සභ්‍යත්ව උරුමයක් ගැන උදම් අනන ජාතියක් ලෙස පරම්පරා ගණනාවක් තිස්සේ රැකගෙන ආ හර පද්ධතීන් බැහැර කරමින් ඉතා අවිචාරවත් ලෙස නිසරු මිථ්‍යා මතවාද හා විශ්වාස වැලඳ ගනිමින් සිටින පරපුරක් අද වනවිට බිහිව ඇති බවක් පෙනෙයි. එවැනි පසුබිමක් තුළ අනාගතයේදී මෙරට ජනසමාජයට මුහුණදීමට සිදු වන අනතුරුදායක ඉරණම පිළිබඳව දැනුවත්ව හෝ නොදැනුවත්ව සැලසුම් සහගත ලෙස මිථ්‍යා සංකල්ප හා අදහස් වපුරන පිරිසක් සහ ඔවුන්ගේ අනුදැනුමත්, පූර්ණ අනුග්‍රහයත් ඇතිව ව්‍යාප්ත වෙමින් පවතින වෙනස්ම ආකාරයේ ව්‍යාපාර සම්ප්‍රදායයක්ද නිර්මාණය වෙමින් පවතී.

බොහෝ අවස්ථාවලදී ආගමික මුහුණුවරක් දෙමින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර කටයුතුද ඒ අතර වෙයි. මේ සියල්ල මධ්‍යයේ අද පරපුර මිථ්‍යාවෙන් අන්ධ වූ ස්වභාවයකට පත්ව ඇති බවක්ද පෙනෙන්නට තිබේ. මෙවැනි කරුණු කාරණා පිළිබඳව විමසිලිමත්ව සිටිමින් මිථ්‍යාවෙන් සමාජය ගලවාගත හැකි මාර්ගයක් සොයා යෑමට කැපවීමෙන් යුතුව කටයුතු කරන යතිවරයාණන් වහන්සේ නමක් වන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමඟ පැවැත්වූ සාකච්ඡාව.

වර්තමාන ලාංකේය සමාජය ආගමිකද?

ආගමානුකූල වීම කියන එකෙන් අදහස් කරන්නේ ආගමත් එක්ක වැඩි වැඩියෙන් ගනුදෙනු කරනවා කියන එක නම් අද සමාජය වෙන කවදාකටවත් වඩා ආගමානුකූලයි. අද සමාජයේ ආගම ඇසුරු කරගෙන කෙරෙන පුද පූජා වැඩියි. ගුවන්විදුලි සහ රූපවාහිනි නාළිකාවල නිතරම වගේ බණ ඇහෙනවා.

බලන බලන හැම තැනකම වගේ ආගමික මුහුණුවරක් සහිත ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. ආගම වෙනුවෙන් සංකේත වශයෙන් නිර්මාණය කෙරෙන ප්‍රතිමා වගේ දේවල් බොහෝ තැන්වල දකින්න ලැබෙනවා. එහෙම ගත්තොත් අද සමාජය විශාල විදිහට ආගමිකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ තුළ ඇත්තටම තියෙන්නේ අපේ ආගම් ශාස්තෘවරයා ගෙනාපු පණිවුඩයද කියන එක ගැන අපට ගැටලුවක් මතු වෙනවා.

ඒ දහම සහ ඉගැන්වීම් අද සමාජය තුළ භාවිතයට ගැනෙන ආකාරය ගැටලු සහගතයි. ඒ දර්ශනය කෙනකුගේ චරිතය වෙනස් කරගන්න හෝ ආකල්ප වෙනස් කරගන්න යොදා ගැනෙන බවක් බොහෝ වෙලාවට දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම ගත්තාම ආගම ඇදහිය යුතු ආකාරයට අදහන්නේ නැති වුණත් අපි ජීවත් වෙන්නේ කවදාවත් නොතිබුණු තරම් ආගමික සමාජයක කියලයි මට හිතෙන්නේ. අද අපේ රටේ බොහෝ අය තමන්ගේ ආගම විශාල විදිහට අදහන බවක් පෙනෙනවා. එහෙම ගත්තොත් අද සමාජය බරපතළ විදිහට ආගමිකයි කියලා කියන්න පුළුවන්. හැබැයි ඒ තුළ ඇත්තටම සැබෑ ආගමිකත්වය තියෙනවාද කියන එක ගැන නම් නැවත නැවතත් හිතන්න සිද්ධ වෙනවා.

සමාජයක් ආගමික වීම වැදගත් වෙන්නේ කොහොමද?

සමාජයක් බරපතළ විදිහට ආගමික වීම කියන එක හොඳ දෙයක් විදිහට මම සලකන්නේ නැහැ. උදාහරණ ගත්තොත් ඉරානය සහ මැදපෙරදිග රටවල් ගත්තාම ඒ හැමතැනක්ම බරපතළ විදිහට ආගමිකයිනේ. එහෙත් ඒ තත්ත්වය සමාජයේ ප්‍රගමනයට කිසිසේත්ම හේතු වෙන්නේ නැහැ. ආගම් බිහිවුණු කාලයේ ගේන්න හදපු කිසියම් වැදගත් පණිවුඩයක් තියෙනවා. අන්න ඒ පණිවුඩය භාවිතයට නඟන්නේ කොහොමද කියන එක ගැන හිතන්නේ නැතිව සමාජයක් තව තවත් ආගමික වූ පමණින් නිරෝගී සමාජයක් හැදෙනවා කියලා මම හිතන්නේ නැහැ.

මේ සමාජය ආගම හෝ ධර්මය අතහැර මිථ්‍යාව පසුපස යනවා යැයි ඔබවහන්සේ සිතනවාද?

මම මේ දේවල් ගැන කතා කරන්නේ බෞද්ධ පසුබිමක ඉඳගෙනයි. ඒ අනුව අද අපේ සමාජයේ තියෙන්නේ අවිද්‍යාව සහ මෝහය පැතිරුණු තත්ත්වයක්. මිනිස්සු තුළ පවත්නා බරපතළ අවිද්‍යාව සහ මෝහය ප්‍රවර්ධනය වුණු තත්ත්වයක මිනිස්සු විවිධ දේවල සරණ සොයාගෙන යන එක නවත්තන්න බැහැ.

අද අපි ජීවත් වෙන්නේ අවිද්‍යාව සහ මෝහය තදබල ආකාරයට ප්‍රවර්ධනය කරන සමාජයකයි. ඒ අවිද්‍යාවෙන් සහ මෝහයෙන් මිනිස්සුන් මුදවන වැඩසටහන් හෝ සාකච්ඡා මේ සමාජය තුළ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ තුළ තියෙන්නේ මිනිසුන් තුළ බිය ඇති කිරීමක් පමණයි. බියට පත් මිනිසුන් ඊළඟට කටයුතු කරන විදිහක් තියෙනවා. බියට පත්වුණාම ඔවුන් ආරක්‍ෂාව හොයනවා. ඒ නිසා මේ ක්‍රමයේ පැවැත්මට බිය පවතින එක හොඳයි.

එතකොට “මම ඔබව රැකගන්නම්” කියලා කියමින් ආරක්‍ෂාව දෙන චරිතයකට මතුවෙන්න පුළුවන්. බෞද්ධ ආගමික පැත්තෙන් බලනකොට අපි කරන්න ඕන අන් අයව බියෙන් මිදවීම මිස ඔවුන්ව බියෙහි පවත්වා ගැනීම නෙවෙයි. බියෙන් ජීවත් වෙන මිනිස්සුන්ට ප්‍රශ්නයක් දිහා තර්කානුකූලව බලන්න, තමන්ටම පිළිතුරු හොයාගන්න, උත්තරේ තමන් ගාවයි තියෙන්නෙ කියලා දකින්න පුළුවන් විදිහේ දැනුම නොලැබුණු සමාජයක වෙන්න පුළුවන් දේ තමයි යමක් සිදුවුණු ගමන් එක එක මිථ්‍යා දේවල් පසුපස යන එක. ඒ නිසා මේ වෙලාවේ ඒ සිද්ධ වෙන දේ දැකලා අපි ඉන්නේ පිරිහිලානේ කියලා කලකිරෙන්න වුවමනා නැහැ. මේක තමයි වෙන්න පුළුවන් දේ. ඊට වඩා වෙනස් දෙයක් වෙනවා නම් තමයි පුදුම වෙන්න ඕන.

මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඔබවහන්සේ ඇතුළු සඟ පරපුර මැදිහත් විය යුතු නැත්ද?

මේ තත්ත්වය වෙනස් කරන්න අපි මැදිහත් වෙන්න ඕනය කියන එක මම පිළිගන්නවා. හැබැයි එහෙම මැදිහත් වෙන්න ඕන හාමුදුරුවරුය කියන කාරණය පිළිගන්න අපහසුයි. හාමුදුරුවෝත් තුවාලකාරයෙක් නම්, හාමුදුරුවරුන්ගේ අධ්‍යාපනය තුළත් අවශ්‍ය කරන නිවැරදි මූලික හරය ලැබෙන්නේ නැත්නම් ඒ අයට ඒ සඳහා කළ හැකි දෙයක් නැහැ.

හාමුදුරුවොත් ධර්මය ඉගෙන ගන්නේ අනෙක් අය වගේම නම්, ඔවුන්ටත් එතැනින් එහාට ගිය දැනුමක් ලැබෙන්නෙ නැහැ. ඒ අයත් ධර්ම කරුණු කටපාඩම් කරගෙන විභාග ලියනවා මිස ඒ දේවල් සැබෑ ලෙසම ප්‍රගුණ කරන්නේ නැත්නම් සමාජයේ අනෙක් අයට වඩා ඉදිරි තැනක ඔවුන් ඉන්නවා කියලා හිතන්න අමාරුයිනේ. එතකොට හාමුදුරුවරුත් මේ ධර්මය දකින්නේ එවැනි සීමාවක් ඇතුළේ නම් කවුද මේ සමාජය සුවපත් කරන්නේ කියන එක ගැටලුවක්. මම මේ කියන්නේ හාමුදුරුවරුන්ට සමාජය සුවපත් කරන්න බැහැ කියන එක නෙවෙයි.

මේක සාමූහිකයි කියන එකයි. අපි කවුරුත් සාමූහිකව මේ සඳහා සහභාගි වෙන්න ඕන. විවිධ පැතිවල ඉන්න මේක තේරෙන අය ඒ සඳහා මැදිහත් වෙන්න ඕන. කතා කරන්න ඕන. එහෙම නැතුව හාමුදුරුවරුම මේක කරන්න ඕනය කියලා දෙයක් නැහැ. හාමුදුරුවරු කියලා කියන්නෙත් සමාජයට පරිබාහිර වෙනම කොටසක් නෙවෙයිනේ. ඒගොල්ලොත් මේකෙම ඉන්න පිරිසක්. ඔවුන් ලබන්නෙත් මේ අධ්‍යාපනයමයි. ඊළඟට ඔවුන්ගේ මනස සකස් වෙන්නේ මේ මාධ්‍යවලින්. එතකොට මේ තත්ත්වය වෙනස් කරන්න හැකියාව තියෙන වෙනම පිරිසක් ඉන්නවා කියලා මම දකින්නෙ නැහැ. ඒ වෙනස ඇති කරන කටයුත්ත සාමූහිකයි කියලයි මම හිතන්නේ.

ඇතැම් හාමුදුරුවරුත් සමාජය තුළ මිථ්‍යා මත වපුරන්න දායක වෙනවා නේද?

මේ සමාජය තුළ මිථ්‍යාවට ලොකු වෙළෙඳපොළක් තියෙනවා. එහෙම වෙන්නේ සමාජයේ බිය සහිත මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්න නිසයි. ඔවුන්ගේ ඒ බිය නැති කරන්න යම් යම් දෙනා එනවා. එහෙම එන නානාප්‍රකාර උදවිය ඒ වෙළෙඳපොළේ ඉන්නවා. හාමුදුරුවරුත් ඒ අතර ඉන්නවා. අද ප්‍රධාන මාධ්‍යවල පවා අලුතෙන්ම හදපු ස්වාමීන් වහන්සේලා යොදාගෙන වැඩසටහන් ඉදිරිපත් කරනවා. එතැන ලොකු වෙළෙඳපොළක් තියෙනවා. ඒ වෙළෙඳපොළට බඩු විකුණන අය ඉන්නවා. ඒ අය අතර හාමුදුරුවරුත් ඉන්නවා.

ආගමික සහජීවනය ගැන ඔබවහන්සේගේ අදහස මොකක්ද?

අපි කතා කරන ඔය හැම ආගමක්ම බිහිවෙන්නේ ලංකාවේ නෙවෙයි වෙනත් රටවලයි. ඒවා බිහිවෙන්නේ සම්පූර්ණ වෙනස් පරිසරවල, වෙනස් තත්ත්වයන් යටතේයි. එතකොට ඒ ඒ ආගම් බිහිවුණු සමාජවල තිබුණු දේවල් එකිනෙකට වෙනස්. ඒවා තුළ විශ්වීය පණිවුඩයක් ගැබ්වෙලා තියෙන එක ඇත්ත. හැබැයි ඒ විශ්වීය පණිවුඩය සමාජගත කරන්නේ එක්තරා සන්දර්භයකයි. එතකොට අපට පුළුවන් වෙන්න ඕන කාරණා දෙකක් නිරවුල් කරගන්න.

එකක් තමයි මේ හැම ආගමක්ම බිහිවුණේ මේ රටේ නෙවෙයි පිටරටයි කියන කාරණය පිළිගන්න එක. අනෙක මේවා බිහිවුණේ අද සමාජයේ නෙවෙයි, මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සන්දර්භයකයි කියන එක පිළිගන්න එක ඒවා පිළිඅරගෙන තමයි අපි කොහොමද? ඒ දේවල් මේ කාලයට ගළප ගන්නේ සහ මේ රටේ සමාජයට ගළප ගන්නේ කියන එක. ගැන හිතන්න වෙන්නේ. මෙතැනදී අපේ හැම ආගමකම ඔන්න ඔය ප්‍රශ්න දෙක සලකලා බැලුවොත් විතරයි. වඩාත් ඉහළ උසස් සම්බන්ධතාවක් සහිත සමාජයක් දිහාට අපට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව අපේ ආගම් ආයතනවල තියෙන නොයෙකුත් යල්පැන ගිය මතවාද, අදට නොගැළපෙන සංකල්ප සහ පසුගාමී අදහස් වෙන වෙනම තියාගෙන “දැන් අපි යා වෙලා ඉඳිමු” “ඔයගොල්ලොත් හොඳයි අපිත් හොඳයි” වගේ එකඟතාවන් ඇතිකර ගැනීමෙන් වැඩක් වෙන්නේ නැහැ.

වඩා ඉහළ සමාජයක්, උසස් සමාජයක් වෙත යන්න ඒක උදවු වෙයි කියලා මම හිතන්නේ නැහැ. ආගමික සහජීවනය නෙවෙයි, ආගම් තුළ තිබෙන විමුක්ති හරයයන් හඳුනගෙන ඒවා අපි ජීවත් වෙන සමාජයේ භාවිතයට නැඟීම පිළිබඳ වන ප්‍රයත්නයක් කරා යා යුතු බවයි මගේ අදහස. අන්න එතකොට අපට ඒ ප්‍රයත්නය, උත්සාහය දරන අය අනෙකුත් ආගමෙන් හමුවෙයි. අන්න එහෙම එකතුවක්, එහෙම එකට වැඩ කිරීමක් තමයි. ආගමික සහසම්බන්ධය හැටියට මම දකින්නේ. එහෙම නැතිව “ඔයගොල්ලන්ගේ ආගමත් හොඳයි. අපේ ආගමත් හොඳයි” කියමින් කටයුතු කරලා වැඩක් නැහැ. ඒ වගේම ඔය නොයෙකුත් පසුගාමී අදහස් ඉදිරියට ගෙන යන ආගමික සහජීවනයක් ගැන මගේ උනන්දුවක් නැහැ.

අද වගේ කාලයක ආගමේ කාර්යභාරය කුමක් විය යුතුද?

සමාජයක ඉන්න මිනිසුන් සුවපත් කිරීම සම්බන්ධව ආගමට ලොකු කාර්යභාරයක් තියෙනවා. සුවපත් කිරීම කියලා කියන්නේ මිනිස්සු තවදුරටත් අසරණ කරන වැඩක් නෙවෙයි, එතැනින් එළියට එන්න උදවු කරන එකයි. මේ සුවපත්කරණයට අදාළ ඉගැන්වීම් විශාල ප්‍රමාණයක් බුදුදහමේ තියෙනවා.

එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. මෛත්‍රී භාවනාව කියන්නේ අපව සුවපත් කරන වැඩක්. මෛත්‍රී භාවනාව තව තවත් මිනිසුන් අතරට ගෙනියන්න පුළුවන් නම් ඉතා වැදගත්. දැන් බෝධිපූජාව හරි ජනප්‍රියයිනේ. හැබැයි මෛත්‍රී භාවනාව ඒ තරම් ජනප්‍රිය නැහැනේ. බෝධිය යට වාඩිවෙලා මිනිස්සු එකතුවෙලා මෛත්‍රී වඩන වැඩසටහන් කියලා ජාතියක් නැහැනේ. මම කියන්නේ ආගමේ භූමිකාව වෙන්නේ අර ජනප්‍රිය දේ නෙවෙයි.

බුදුදහමේ තියෙන මිනිස්සු සුවපත් කරන ඇත්ත ඉගැන්වීම් මොනවද කියලා හොයලා බලලා ඒවා ගෙනෙන එකයි. අනෙක් කාරණය තමයි මිනිස්සුන්ට සතිපට්ඨානය එළැඹි සිහිය හෙවත් මේ මොහොතේ ජීවත්වීම පුහුණු කිරීම කියන එක බුදුදහමේ ප්‍රමුඛ දෙයක්. ඒත් ඒ විදිහේ වැඩසටහන් ප්‍රචලිත වෙනවා අපි දකින්නේ නැහැ. මේ මොහොතේ ජීවත් වෙන්න හුරු කරවන ඒ වැඩසටහන් අද සමාජයට ඉතා වටිනවා. එතකොට කායානුපස්සනාව හෙවත් කය අනුව බැලීම කියන එකත් වැදගත්. ඒකෙදී කෙරෙන්නේ අපේ ඉරියව් ගැන සම්පූර්ණ අවදි සිහියෙන් කටයුතු කරන එකයි. ඒවා තුළ අද අපි මුහුණ දෙන කොරෝනා වගේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා.

ඒවා තමයි ඇත්තටම අපට උත්තර ගොඩනඟන දේවල්. මම සලකන්නේ ආගමේ කාර්යභාරය විය යුත්තේ, ගැඹුරින් පවත්නා, ඇත්ත වශයෙන්ම ගන්න පුළුවන් උත්තර මොනවද කියලා හොයලා ගෙනැල්ලා සමාජගත කරන එකයි. ඒක තමයි කළ යුතු ලොකුම වැඩේ කියලා මම හිතනවා පුද පූජා වගේ දේවල් ආකර්ෂණීය වෙන්න පුළුවන්. හැබැයි ඒවා හරහා කෙරෙන්නේ දිගුකාලීන සුවපත් කිරීම් නෙවෙයි කියන එකයි මගේ අදහස.

සමාජය වෙනුවෙන් ඔබවහන්සේ නිහඬව කරගෙන යන කටයුතු නිසි පරිදි සමාජගත වෙනවාද?

කරන්න පුළුවන් විධිවලින් අපි මේ දේවල් සමාජගත කරගෙන යනවා. අපි කරන දේවල් ගැන ලොකුවට මුදල් වැය කරලා සමාජයට කියන්න විශාල දැවැන්ත හැකියාවන් අපට නැහැනේ. ප්‍රධාන මාධ්‍ය හරහා මේ දේවල් ගැන ප්‍රචාරය කරනවානම් ගම් මට්ටමටම මේ පණිවුඩය වහාම යනවා. ඒත් එහෙම ශක්තියක් නැති තත්ත්වයක් තුළ තියෙන සීමිත ශක්තීන් සමඟ අපි වැඩ කරනවා. අපේ වැඩ කටයුතු ආරම්භ කරනකොට කිසිකෙනෙක් නොදැන සිටියත් දැන් ඒ දේවල් ගැන දන්න පිරිසක් ඉන්නවා කියලා මම හිතනවා.

ඒ වගේම අවුරුදු ගාණක් තිස්සේ එක රටාවකට සකස් වෙලා තියෙන සමාජයක් අවුරුදු පහකදී වෙනස් වෙන්නේ නැහැ. ඒකට තව අවුරුදු විසිපහක්වත් අපට වැඩ කරන්න වෙයි. පරම්පරාවක් වෙනස් වෙන එක පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් ඒ පණිවුඩය ලබාදෙන එක වගේම ඒ ගැන සාකච්ඡා කරන තත්ත්වයක් නිර්මාණය කරන එකත් අපේම වැඩක්. එහෙම අදහස් සමාජගත කරන එක, සාකච්ඡා කරන එක, බය නැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින එක දිගටම කරනකොට තව තව පිරිස් අපත් සමඟ එකතුවෙයි කියන එකයි මගේ විශ්වාසය.

අවුරුදු විසිපහක් ගත්තොත් සමාජය තුළ කිසියම් ලොකු වෙනස්කම් වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ ධන පැත්තටද සෘණ පැත්තටද කියන එක වෙනම කතාවක්. හැබැයි සමාජය කවර හෝ ආකාරයකට වෙනස් වෙලා තියෙනවනේ.

ඒ වෙනස් වෙන සමාජයට අපේ අදහසත් ඇතුළත් කරන්න උත්සාහ ගත්තොත් ඒ වෙනස යම් මට්ටමකින් හෝ ඒ දිහාවට ගෙනියන්න ඒක උදවු වේවි. එතැනදී සාමූහික වශයෙන් කටයුතු කරන්න විවිධ මට්ටම්වලින් විවිධ පිරිස් ඉදිරිපත් වේවි. ඒ අය ගුරුවරු වෙන්න පුළුවන්, ආගමික නායකයො වෙන්න පුළුවන්, මාධ්‍ය වෙන්න පුළුවන්. එවැනි විවිධ පිරිස් එකතුවෙලා සාමූහිකව වැඩ කරනවා නම් මේ සමාජය වෙනස් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

මව්බිම

Facebook
Twitter
LinkedIn