වැව් ඉස්මත්තක තවත් රක්ෂිතයක් ඩෝසර් කරලා

වැව් ඉස්මත්තක තවත් රක්ෂිතයක් ඩෝසර් කරලා

ධාතුසේන රජතුමා විසින් අතීතයේ කළ බව කියන කලා සහ බළලු වැව ආසන්නයේ රජයේ රක්ෂිතයට මේ දිනවල ඩෝසර් යොදා මහ ගස් කොළන් කපා එළිපෙහෙළි කරමින් පවතින බව බව ප්‍රදේශය බාර වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

ප්‍රාදේශීය ලේකම් සහ පලාගල ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් දික්ඇදියාව හා බළලු වැව ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත් කර ගැනීමට වන අලින් ගමන් ගන්නා මාර්ග පිහිටා ඇති ඉතා වටිනා ඉඩම් විනාශ කරන බවද මේ නිසා සතුන්ටද බරපතල ප්‍රශ්නයක් සිදුවෙමින් පවතින බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

බළලු වැව හා දික්ඇදියාව ඉස්මත්තේ අලි මංකඩ මේ වනවිටත් විශාල භූමියක් ඩෝසර් දමා සුද්ධ පවිත්‍ර කර ගිනි තබා තිබේ. එමෙන්ම එහි තිබූ වටිනා ගස් කොළන් යන්ත්‍රසූත්‍ර දමා කපා ගස් කුට්ටි කර ඇති අයුරු දැක ගැනීමට හැකිය.

මෙම රක්ෂිතය එළි පෙහෙළි කරන ආසන්නයේම තවත් පිරිසක් පලාගල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබාදුන් බව පවසමින් යම්කිසි ඉදිකිරීමක් සිදු කරමින් සිටින අයුරුද වනජීවී නිලධාරීහු පෙන්වා දුන්හ. එම ඉදිකිරීම සිදුකරමින් සිටින පිරිස ගෙන් කියා සිටියේ මෙම ඉදිකිරීම් කරන ස්ථානයේ අක්කරයක පමණ ඉඩම් භූමියක් ප්‍රාදේශීය සභාව මගින් ගම්මුන්ට සොහොන් භූමියකට ලබා දී ඇති බවය.

මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ඉතා ඝනව වැඩී තිබූ වනාන්තරයේ තිබු කොහොඹ ගස් කපා මේ වනවිටත් ප්‍රධාන කඳ කොටස් රැගෙන ගොස් ඉතිරි දැව කොටස් යන්ත්‍රසූත්‍ර දමා කුට්ටි කර රැගෙන යෑම සඳහා සූදානම් කර ඇති අයුරුද දැක ගත හැකිය.

අවට පදිංචි පිරිසක් බව කියූ කණ්ඩායමක් කියා සිටියේ මෙම ස්ථානයේ සිදුකෙරෙන මහා පරිසර විනාශයන් නීතිවිරෝධී ක්‍රියාවලි පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරයා පොලීසිය ග්‍රාම නිලධාරී ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවා දැනුම් දුන්නද රජයේ නිලධාරීන් කිසිදු අවදානමක් නොගන්නා බවය. රජයේ රක්ෂිත වෙනත් කණ්ඩායමක් අල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන බව ගම්මු පෙන්වා දුන්හ.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn