මහර බන්ධනාගාරයේ රැඳවියන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් කළ බොරුව සහ ප්‍රෝඩාව හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
අද (24) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මහර ඝාතන සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ”මහර බන්ධනාගාර ගැටුමෙන් ඝාතනය වූ රැඳවියන් 11 දෙනාගෙන් මේ වනවිට 8 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කරලා තිබෙනවා. ඒ සියලු දෙනාම ඝාතනය වී ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණවලින් හා පස්දෙනාගේ කමිටු වර්තා මගින් තහවුරු වෙනවා. එහෙම තියෙද්දි තමයි බන්ධනාගාර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ කිසිවෙකුත් වෙඩිවැදී මිය ගිහිල්ලා නෑ කියලා. ආණ්ඩුවේ ඇමතිවරු පට්ටපල් බොරු කියලා මේ සිද්ධිය යට ගහන්න හැදුවා. හැබැයි ඒ වාර්තාවලින් හෙළිවෙනවා මහර බන්ධනාගාරයේ වෙඩිතැබීමක් සිදු වුණා ඒ වෙඩිතැබීමෙන් රැඳවියෝ ඝාතනය වුණා කියලා. ඒවගේම ඊයේ (23) වත්තල අධිකරණය දුන් තීන්දුවත් එක්ක ආණ්ඩුවේ ඇමතිවරු කරපු බොරුව දැන් රටට හෙළිදරව්වීමක් වෙලා තියෙනවා.” යැයි පැවසීය.










