අන්තෝ ජටා බහි ජටා – ඇතුළතත් අවුල් පිටතත් අවුල්

අන්තෝ ජටා බහි ජටා – ඇතුළතත් අවුල් පිටතත් අවුල්

කොවිඩ් – 19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය කරන්නේද නොඑසේනම් භූමිදානය කරන්නේ යන්න නිවැරදිව විද්‍යානුකූල පදනමක සිට නිරාකරණය නොකර දේශපාලන තීන්දු තීරණ ගැනීමට යාම තුළ මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය, ආරක්ෂක ක්ෂේත්‍රය මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයද දැඩි අවුල් ජාලාවක පැටලී ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ බව අනාවරණය වන්නේ අද (23) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති මහ බන්ධනාගාර රැඳවුවන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදීය.

කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය “දේශපාලනික තීන්දුවක්” නොවිය යුතු බවත් වගකිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණය ද අපහසුතාවට පත්වී ඇති බවත් වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල එහිදී අවධාරණය කර තිබේ.

මහර ඝාතනය කල රැඳවුවන් 04 දෙනෙකුගේ සිරුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් මීට පෙර එම සිරුරු ආදාහනය කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි. එමෙන්ම අද දිනයේද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් කොවිඩ් ආසාදිත සෙසු මළ සිරුරු හතරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අද අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව එම සිරුරු ආදාහනය කිරීම ඔවුන්ගේ ඥාතීන් අකමැති නැතැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණයට දන්වා ඇත.

කෙසේ වෙතත් අගතියට පත් පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් වන නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න සහ චූල අධිකාරි එයට දැඩිව විරෝධය දක්වමින් පවසා ඇත්තේ විමර්ශකයින් මියගිය රැඳවියන්ගේ ඥාතින් නොමඟ යවමින් අදාහනය කිරීමට කැමැත්ත ලබාගෙන ඇති බවය.

අජීවි ශරීර තුළ කොවිඩ් වෛරසය ක්‍රියාකාරී නොවන බව ලොව විශේෂඥයින් රැසක් පවසා ඇති තත්ත්වයක ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂක මාර්ග උපදේශවලට වසන් වී මෘත ශරීර අදාහනය කිරීමට උත්සාහ දරන බවද ඔවුන් පෙන්වා දී ඇත. එමගින් ලෝකයේම අවධානය දිනාගත් අපරාධයකට යුක්තිය ඉටුවීම වැලැක්වීමට ඇතැමුන් උත්සාහ දරන බවද ඔවූහු අවධාරණය කර ඇත.

මුල් අවස්ථාවේ මෙම මියගිය රැඳවියන් කොවිඩ් ආසාදිත බවට අධිකරණයට කරුණු දැක්වූවද සිදුවීමෙන් මසකට ආසන්න කාලයක් ගෙවී ගොස් තිබුණත් මෘත ශරිර වල තවමත් වෛරසය සක්‍රීයව පවතී ද යන්න පිළිබඳ විමර්ශන නිලධාරින් අධිකරණයට වැඩිදුර කරුණු දක්වා නැතැයිද, වර්තමානයේදී කොවිඩ් ආසාදිත ඇතැම් මළ සිරුරු භූමදානයට අවසර ලැබෙන තුරු ශීතකරණවල රඳවා ඇති පසුබිමක මෙම මෘත ශරීර භූමදානය නොකරන්නේ මන්ද යන්නයි.

“මෙම මෘත ශරීර පිළිබඳ මුලික වාර්තාවේ තියෙනවා ජීවිතක්ෂයට පත්වු 11 දෙනාගෙන් 08 දෙනෙකුගේ පී.සී.ආර් පරික්ෂණ පොසිටිව් කියලා. ඒකයි මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා නිකුත් වූ මෘත ශරීර ආදාහනය කරන්න කියලා ඉල්ලන්නේ. මින් එහාට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඒමට නියමිතව ඇති සිරුරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වෙලා නැහැ. ඒ නිසා ඒවා භූමදානයට අපි විරුද්ධ නැහැ,” යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණයට දන්වා ඇත.

එහිදී මහේස්ත්‍රාත්වරයා, තමන්ට ලබා දී ඇති ලිපිගොනුවක් පෙරලා මෙසේ පවසා ඇත “මා වෙත ඉදිරිපත් කර ඇති ලේඛනවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, අධිකරණ ඇමතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතා නිකුත් කළ ලේඛනයක් තියෙනවා. එහි සඳහන් වෙනවා කොවිඩ් ආසාදිතව මියගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මළ සිරුරු භූමදානය කළ හැකිද යන්න පිළිබඳ අගමැතිවරයා සහ විශේෂඥ කමිටුවක් අතර මේ වනවිටත් සාකච්ඡා පවතින බව. එතෙක් මළ සිරුරු ශිතකරණවල බහා තබාගෙන ඉන්නවා කියලා. ඉන් කියවෙන්නේ ඉස්ලාම් මෘත ශරීර භූමදානය කිරීමට යම් හැකියාවක් පවතිනවා යැයි මතයක් ඇති බව. මේ ගැටලුව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල වගකිවයුතු පාර්ශ්ව විවිධ ස්ථාවරදැරීම නිසා අධිකරණය විදියට අපි ලබාදුන්න නියෝග ගැන අපිටම ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒක නිසා කොවිඩ් ආසාදිත මෘත ශරීර කිසිදු කරුණක් නිසා භූමදානය කරන්නේ නැහැ කියලා නිශ්චිත නියෝගයක් තියෙනවානම් වහාම අධිකරණයට දන්වන්න.”

ඉන් මිනිත්තු 15 කට පමණ පසු රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහි සඳහන්ව තිබුනේ කොවිඩ් නිසා මියයන්නන්ගේ සිරුරු සම්බන්ධයෙන් මේ වනවිටත් අනුගමනය කරන්නේ 2020 අප්‍රේල් මස 11 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ විධිවිධාන බවය.

“කොවිඩ් – 19 අසාදනයෙන් මියයන්නන්ගේ මෘත ශරීර භූමිදානය කරනවාද, ආදාහනය කරනවාද යන්න පිළිබඳ තීරණය ගැනීම දේශපාලනීක තීන්දුවක් නොවිය යුතුයි. එය සෞඛ්‍ය අංශ විසින් ගතයුතු තීන්දුවක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව සහ මේ වාර්තාවේ කරුණු පරස්පරයි. ඔහුට හිතේ එකක් තියාගෙන තව එකක් පිටතට කියන්න බැහැ. මම හිතන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි ගොඩ එන්න නොහැකි වළක් කපාගෙන තියෙනවා. මේ ගැටලුව නිසා අධිකරණය ඇතුළු මුළු සිස්ටම් එකම අපහසුතාවයට පත්වෙලා තියෙනවා. මෙම සිදුවීමේදි බරපතළ ගැටලුවක් මතුවෙලා තියෙනවා මෘත ශරීර අදාහනය කළහොත් අපරාධයක සාක්ෂි වසන් වෙයිද කියලා. ඒක නිසා මට මේ අවස්ථාවේදි මෙම මෘත ශරීර අදාහනය කරනවාද, භූමදානය කරනවාද කියලා තීන්දුවක් දෙන්න බැහැ. දැන් මේ වනවිට සාකච්ඡාවට බඳුන්වෙලා තියෙන කොවිඩ් – 19 අසාදනය වීමෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ මළසිරුරු ආදාහනය කරනවාද. භූමදානය කරනවාද කියලා බලධාරින් ගන්න නීශ්චිත තීරණයක් කඩිනමින් අධිකරණයට දැනුම් දෙන්න. අධිකරණයටත් කාලය අවශ්‍යයි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න,” යැයි පවසමින් නඩුව දෙසැම්බර් මස 30 නැවත කැඳවීමට නියෝග කර ඇත.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා 2020 දෙසැම්බර් 23 දිනැති ලිපිය යොමු කරන්නේ, පසුගිය 19 වනදා කරාපිටිය ශික්ෂණ රෝහලේදී ජීවිතක්ෂයට පත්වන කොවිඩ් ආසාදිතයෙකුගේ දේහය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුනු වාර්තා කර තිබූ අතර අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ, මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කරුණු දක්වා උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියට කර තිබූ නියෝගයට අනුව උපදෙස් ලෙසය.

කෙසේ වෙතත් එහිදී පැමිණිලි ප්‍රාර්ශවයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණ අමාත්‍ය අලි සබ්රි වෙත නිකුත් කළ 2020 දෙසැම්බර් 16 දරණ ලිපියද අධිකරණට ඉදිරිපත් කර ඇත.

2020 දෙසැම්බර් 16 දරණ ලිපිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් යළි 2020 දෙසැම්බර් 22 වැනි දින ජාතික රෝහල් නියෝජ්‍ය අධයක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂවරුන්ට සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට, රෝහල් අධිකාරීවරුන්ට හා සියළුම අධිකරණ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පැහැදිලි කිරීමක් ද යවා ඇත.

එහි දක්වා ඇත්තේ එම ලිපිය රජයේ අමාත්‍යවරයකු වූ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සමඟ කරන ලද වෙනත් සාකච්ඡාවක දී පැන නගින ලද කරුණු සම්බන්ධයෙන් යවන ලද්දක් බවයි. එම ලිපිය කිසිසේත්ම මීට පෙර නිකුත් කරන ලද මළ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ චක්‍රලේඛ හා 2020 අප්‍රේල් 11 වැනි දින නිකුත් කරන ලද අංක 2170/8 දරණ ගැසට් පත්‍රයේ උපදෙස්වලට අමතරව නිකුත් කරන ලද ලිපියක් නොවන බවයි. ඒ අනුව වලංගු වන්නේ මීට පෙර නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම පලහිලව්ව තුළින් පැහැදිලි වන්නේ කොවිඩ් මරණ ආදාහන කිරීම හෝ භූමිදානය කිරීම සම්බන්ධයෙන් සත්‍ය විද්‍යාත්මක පදමකින් තොරව දේශපාලනමය තීන්දු තීරණ ගැනීමට යාම තුළින් රාජ්‍ය නිලධාරීන් දැඩි අසීතරුතාවයකට පත්ව ඇති ආකාරයයි.

මෙම උභතෝකෝටිකය දෙස බලන විට සිහියට නැගෙන්නේ “අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා තං තං ගෝතම පිච්ඡාමී – කො ඉමං විජටයේ ජටං” ඇතුළතත් අවුල්, පිටතත් අවුල්, ප්‍රජාව අවුලෙන් අවුලට පත්ව ඇත. මේ අවුල ලිහන්නේ කවුරුද? යන බුදු බණේ එන පැනයයි.

ඉලේකා අලහප්පෙරුම

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්