පසුගිය රනිල් + මෛත්‍රී ආණ්ඩුව සමයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගතව සිටින විට ඔහුට අවශ්‍ය ජලය රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ රවුෆ් හකීම් විසින් බවත් තමන්ට කෑම රැගෙන ගියේ එවකට ඇමතිවරයෙකු වූ කබීර් හෂීම් බවත් අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.
පැවති රනිල් + මෛත්‍රී ආණ්ඩුව පැවති රාජපක්ෂ ආණ්ඩුවේ දූෂිතයන් සමග් සමීප සම්බන්ධතා පවත්වමින් ඔවුන් සමග ගනුදෙනු කරන බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ඒ හරහා ප්‍රමාද කරන බවත් එවකට, පැවති ආණ්ඩුවට එල්ල වූ ප්‍රබලම චෝදනාවකි.
නීතිවිරෝධි විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ විමල් වීරවස අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු නිදහස් කළේද එවකට අගමැති රනිල් වික්‍රමසිංහ සමග උදය ගම්මන්පිල සහ ජයන්ත සමරවීර සිදු කළ සාකච්ඡාවකින් පසුවය.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය සුප්‍රසිද්ධ සිල් රෙදි නඩුවේ වැරදිකරුවන් වී සිරගත වූ වහාම එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එකල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡාවක් සිදු කළ අතර පසුව සිරගතව සිටි ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට අභියාචනයක් ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන්ට ඇප ලබාදෙන ලදී. ඊට නීතිපතිවරයාගේ විරෝධයක් ඉදිරිපත් නොවූ අතර ඊට විරුධ්ධ නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නීතිපතිවරයාට දන්වා ඇතැයි ප්‍රවෘත්තිද පල විය.










