“2030 දී නේටෝව” නව වාර්තාව සාමකාමී ලෝකය හිනස්සවයි !

“2030 දී නේටෝව” නව වාර්තාව සාමකාමී ලෝකය හිනස්සවයි !

දෙසැම්බර් පළමුවෙනිදා රැස්වූ නේටෝ යුධ සංවිධානයේ විධායක සභාව විසින් සකස් කරන ලද “2030 දී නේටෝව” නමින් නම් කර ඇති පිටු 70ක වාර්තාව මේ වන විට ලෝකය පුරා සාමයට ලැදි ජනතාවගේ අවධානයට හා උපහාසයට ලක් වී ඇත.

පසුගිය වසර හතරක ට්‍රම්ප් පාලනය විසින් තමන්ගේ ආරක්ෂාව තමන්ටම සලසා ගනිමින් ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගන්නා ලෙස එක්සත් යුරෝපයේ නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි අතර ඔහු විසින් නැගී එන චීනයට එරෙහිව “ලෝකයේ තනි සුපරි ඇමරිකන් බලයක්” ගොඩ නැගීමේ මිලිටරි ව්‍යපෘතියක නිරත වී සිටියේ ආසියාව තුල චීනය අවට රටවල් පවා අවනත කරගැනීමට තම බලහත්කාරයද උපයෝගී කරගනිමිනි. ශ්‍රී ලංකාවේදී පොම්පියෝගේ හැසිරීම අප අත්දුටුවෙමු.

2018 දී නේටෝ සාමාජික රටක් වන ප්‍රංශයේ ජනාධිපති පැවසුවේ තම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමට අපෝසත් නේටෝ යුධ සංවිධානය මොළය මියගිය සංවිධානයක් බවයි. ට්‍රම්ප්ගේ මෙම තනිමතයේ ඒකාධිපති ක්‍රියාකලාපයන් නිසා නේටෝ සංවිධානය තුල බරපතල බෙදීම් හා ගැටුම් ඇතිවී තිබිණි.

විශේෂයෙන් නේටෝ සාමාජික රටක් වන තුර්කිය විසින් ආර්මෙනියාවේ සිදු වූ බෙදුම්වාදී යුද්දයට මැදිහත් වීම හා සිරියාවේ කුර්දිස්ථාන් ගරිල්ලන්ට ප්‍රහාර එල්ල කිරීම, ලිබියාවට මැදිහත් වීම මෙන්ම රුසියාවෙන් s-400 ගුවන් ආරක්ෂක පද්ධතීන් මිලට ගැනීම යුරෝපයේ රටවල දැඩි විවේචනයට ලක් වී තිබිණි. එසේම ජර්මනිය රුසියාව සමග ආර්ථික සබන්ධතා පැවැත්වීම පිළිබඳව නේටෝ සාමාජික රටක් වන පෝලන්තයද හෙලා දැක තිබිණි.

ප්‍රංශ ජනාධිපතිවරයාට පිළිතුරු දෙමින් ට්‍රම්ප් පාලනය ප්‍රංශ ආනයන භාණ්ඩ වල බදු ඉහල නංවන බවටද තර්ජනය කර තිබුණු අතර ඇෆ්ගනිස්ථානයෙන් තම හමුදා ඉවත් කරගන්නා බවටද ප්‍රකාශයට පත්කර තිබිණි. මේ වනවිටත් ඇෆ්ගනිස්ථානයේ නේටෝ බලය එහි අගනුවර වන කාබුල් නගරයට පමණක් සිමා වී ඇති අතර යම් විදිහකින් 5000ක ඇමරිකන් හමුදා ඉවත් වුවහොත් පැය 24ක් ඇතුලත සමස්ථ රටම තලිබාන් ගරිල්ලන් අතට පත්වීම වැළැක්විය නොහැකි අතර එහිදී දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට නේටෝවේ අනෙකුත් රටවල 5000ක හමුදාවන්ට සිදුවනු ඇත.

කෙසේ වෙතත් නව ඇමරිකන් පාලනය වෙනස් වීමත් සමග නේටෝවේ ක්‍රියාකාරීත්වය නැවත බලගැන්වීමේ කාර්ය්‍යය වේගවත් කරලීම සඳහා යුරෝපීය රටවල් උත්සක වෙමින් සිටින්නේ ඔවුන් මුහුණ දී සිටින ආර්ථික හා යුධ පසුබෑම මග හරවා ගැනීම සඳහා වේ. එහිදී නේටෝ සංවිධානයේ ලේකම් ජෙන් ස්ටෝල්තන්බර්ග් පසුගිය දෙසැම්බර් 2 වනදා තලිබාන් ගරිල්ලන් සමග සටන් විරාමයකට එකඟ වී ඇත්තේ ජෝ බයිඩන් පාලනය ඇමරිකාවේ පාලනය තහවුරු කරගන්නා තුරු කාලය ලබා ගැනීම සදහාය. ඇතිවී ඇති තත්වය තුල නව ජෝ බයිඩන් පාලනයද නේටෝව යලි සක්‍රිය කිරීමේ කාර්යය සඳහා තම දායකත්වය සැපයීමට කැමැත්ත පල කර ඇත. ඒ සඳහා යෝජනා ඉදිරිපත්කරන ලෙස ඉල්ලා තිබිණි.

ඒ අනුව මෙම මෙම මස 2 වනදා රැස් වූ නේටෝ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් මෙම නව වාර්තාව එළි දක්වා ඇති අතර එමගින් රුසියාව,චීනය හා ඇෆ්ගනිස්ථානයේ පාලනය තලිබාන්වරුන් අතට පත්වුවහොත් ඉස්ලාම් ත්‍රස්ත්‍රවාදය හිස එසවීමට ඇති ඉඩකඩ නිසා එහි ප්‍රථිපලයක් ලෙස යුරෝපයට හා ලෝක සාමයට තර්ජනයක් වීමට ඉඩ ඇති බව අවධාරණය කර ඇත. එහිදී ඇමරිකන් රාජ්‍ය ලේකම් පොම්පියෝද ආර්මේනියාවේ හා සිරියාවේ තුර්කියේ හැසිරීම හෙලාදකින ලදී. එසේම 2014 දී රුසියාව යුක්රේනයට අයත්ව තිබු ක්‍රිමියා දුපත ඈඳා ගැනීම ජාත්‍යන්තර නීතින් උල්ලංඝණය කිරීමක් ලෙස අර්ථදක්වා ඇත. 1990 සිට නේටෝව ඇතුළුවීමට රුසියාව ප්‍රතික්ෂේප කිරීම එහිදී බරපතල ලෙස විවේචනයට ලක්කර ඇත.

කෙසේවෙතත් නව වාර්තාව මගින් අතීතයේ සේම ලොව පුරා මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය රැකීම, ජාත්‍යන්තර නිතින් රැකීමට පියවර ගන්නා බව පැවසීම ලෝක ප්‍රජාවේ විහිළුවට භාජනය වී ඇත.

සෝවියට් කඳවුර ප්‍රමුඛ වර්සෝ යුධ සංවිධානය බිඳ වැටුණු 1990 සිටම එවකට ඇමරිකන් රාජ්‍ය ලේකම් ඩික් චෙනේ පැවසුවේ “එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු දැන් අප(ඇමරිකාව)” බවයි. 1990 යුගොස්ලාවියාව කැබලි කරමින් එම සියළු රටවල නේටෝ හමුදා රඳවමින් ආරම්හ කල යුධ ව්‍යාපෘතිය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව අක්‍රමණය කරනු ලැබුවේත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ දකුණු ඇමරිකාවේ ප්‍රගතිශීලි රජයන් පෙරලා දැමීමට කුමන්ත්‍රණ සැලසුම් කලෙත් සියළු ජාත්‍යන්තර නීතින් හා එක්සත් ජාතීන්ගේ සම්මුතියද බරපතල ලෙස උල්ලංඝනය කරලමිනි.

ජෝ බයිඩන් පාලනය හා නේටෝව මෙම අධිරාජ්‍යවාදී අරමුණු වෙනස් කරගනු ඇතැයි බලාපොරොත්තු වීම මායාකාරී අදහසක් පමණක් වන අතර තවමත් කොරෝනාවෙන් බරපතල ලෙස පිඩා විඳින ඇමරිකාවේ යුධ වියදම් ඉහල දැමීමට හා ඇමරිකන් යුධ මෙහෙයුම් වලට යුරෝපයද ඇතුළු කරගැනීමට බයිඩන්ට යෝජනා කිරීම තුලින් මෙය තවත් තහවුරු වේ.

ඒ අනුව ට්‍රම්ප් පාලනය විසින් තම තනි අයිතියට අත්පත් කරගැනීමට ගිය ලොව යුධ හා ආර්ථික ලාභයන්ට එරෙහිව ඇතිවූ සීතල යුද්ධය අවසන්කර කොරෝනා වසංගතය නිසා අර්බුදයට ගොස් ඇති ආර්ථිකය නංවා ගැනීමට එම ලාභයන් ඇමරිකාව සමග බෙදා හදා ගැනීමට යුරෝපීය අධිරාජ්‍යවාදීන් මෙයින් උත්සහ දරා ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්