“නිවාර්” සුළි කුණාටුව හේතුවෙන් පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු බවත් එම වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මිටර් 2ත් 3ත් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින අතර මුහුදු රළ ගොඩබිමටද පැමිණිය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “නිවාර්” සුළි කුණාටුව අද (24) උදෑසන 8.30 වනවිට ලංකාවේ කන්කසන්තුරය වෙරළට කි.මී 325ක් නැගෙනහිරින් ස්ථානගතව පැවැති බවත් එය ඉදිරි පැය 36ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට පැ.කි.මි 60-70 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල පැ.කි.මී 40-50 පමණ තද සුළං ඇති විය හැකි බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර උතුරු පළාතේ බොහෝ ස්ථානවල වැසි අපේක්ෂා කරන අතර තැනින් තැන මිලිමීටර් 100ට වැඩි වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලද තද සුළං සමග වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.










