හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, වනජීවී දෙපාර්තමේන්තුව හා මහවැලි විශේෂ බල ප්‍රදේශය සතු කැලෑ ඉඩම් අක්කර සිය ගණනක් මේ වනවිට දේශපාලන අනුග්‍රහය ඇතිව අනවසරයෙන් අත්පත් කරගනිමින් සිටින බව ප්‍රදේශයේ ජනතාව පවසති.
පවතින ආණ්ඩුවේ දේශපාලකයින්ගේ හිතවතුන් වශයෙන් පෙනී සිටිමින් බොහෝ අය මෙම කැලෑ ඉඩම් එළිපෙහෙලි කොට අත්පත් කරගනිමින් සිටින බව එහි පාරම්පරික වැසියෝ පවසති.
සූරියවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වල්සපුගල හා හාමුදුරුවැව යන ප්‍රදේශවල වනඅලීන් බහුල ලෙස ගැවසෙන කැලෑ ඉඩම් අක්කර සිය ගණනක් මේ වනවිට යන්ත්‍රසූත්‍ර යොදා එළිපෙහෙළි කොට තිබේ.
වන අලි කළමනාකාරණ බල ප්‍රදේශයට යෝජිත දිමුතුගම, පුස්ගල, වැවේගම, අන්දරවැව, වැලිවැව යන ප්‍රදේශවල කැලෑබිම් රැසක්ද විවිධ පුද්ගයින් විසින් මේ වනවිට එළි පෙහෙළි කරමින් සිටී.
මෙම අනවසර ඉඩම් මංකොල්ලය නිසා වඩාත් පීඩාවට පත්ව ඇත්තේ සිය වාස භූමි බවට පත්කරගනිමින් සිටි වන අලීන් මෙන්ම යාබද ගොවිබිම්වල සිටින පාරම්පරික ගොවි ජනතාව බව ප්‍රදේශයේ ජනතාව පවසති. ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ මෙම ඉඩම් මංකොල්ලය ඉහළ ගොස් ඇති බවත් සමහර ඉඩම් අත්පත් කරග ගන්නන් කොළඹින් පැමිණි අය බවත්ය. ඔවුන් නිලධාරීන්ට බලපෑම් කරමින් මෙම ඉඩම් මං කොල්ල කන බද ජනතාව කියති.
පසු ගියදා පැවති හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී මේ පිළිබදව සාකච්ඡා වූ අතර එහිදී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පැවසුවේ අලි කළමනාකරණ රක්ෂිතය බල ප්‍රදේශය යනු යෝජිත ව්‍යාපෘතියක් පමණක් බවත් ඒ ගැන සලකා කටයුතු කිරීමෙන් සංවර්ධන කටයුතු සදහා බාධා මතුවෙන බවත්ය.
එහිදී අදහස් දැක් වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.ඩබ් කරුණාරත්න මහතා පැවසුවේ යෝජිත අලි කළමනාකරණ ප්‍රදේශය නිශ්චිත වශයෙන්ම හදුනාගෙන ගැසට් කළ යුතු බවය.
“සභාපති තුමා මොන පදනමෙන් වැඩ කරනවාද කියා අපි දන්නේ නැහැ. නමුත් මමත් මාගේ නිලධාරීනුත් මේ නිසා අපහසු තාවයට පත් වෙනවා…” යැයිද දිස්ත්‍රික් ලේකම් වරයා එහිදී පවසා ඇත.










