වාස්ගේ සහායක නිලධාරියා නිදහසේ සිටීම ගැටලුවක් ! – ශානිගේ නඩුවේදී නීතිඥවරු කියති

වාස්ගේ සහායක නිලධාරියා නිදහසේ සිටීම ගැටලුවක් ! – ශානිගේ නඩුවේදී නීතිඥවරු කියති

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ආයුධ තොගයක් දැමීම චෝදනාවක් ලෙස ඉදිරිපත් කොට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර පිළිබඳ නඩුවට අදාළව මෙරට සිටින පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට නොගැනීම බරපතළ ගැටලුවක් බව නීතිඥවරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට පෙන්වා දුන්හ.

මෙම නඩුවේ සැකකරුවකු ලෙස එම දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විදේශගතව සිටින බවත්, ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය පසුගිය 20 වැනිදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එහි දී කරුණු දැක් වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අවස්ථා දෙකක දී පරස්පර ප්‍රකාශ ලබා දුන් වාස් ගුණවර්ධනගේ සහායක පොලිස් පරීක්ෂකවරයකු ලංකාවේ සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය කිසිදු උනන්දුවක් නොදක්වන බවත් ය. මෙම නිලධාරියා මුල් අවස්ථාවේ දී අදාළ ආයුධ දැමූ බවට ප්‍රකාශයක් ලබා දී ඇති අතර, පසුව සති දෙකකට පෙර පවසා ඇත්තේ, එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම මත පැවසූවක් බවයි.

එසේ නම්, මෙතෙක් කල් එවැන්නක් අනාවරණය නොකර සිටීමෙන් ඔහු වරදක් කර ඇති බව ද මෙහි දී නීතිඥවරු අධිකරණයට පෙන්වා දුන්හ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙවැනි වරටත් මෙම නඩුවට සහභාගි නොවීම විශේෂත්වයක් විය.

කොළඹ අපරාධ කොට්ඨාසය ඉල්ලා සිටි ආකාරයට නිශාන්ත සිල්වාට වරෙන්තු නිකුත් කළ අධිකරණය, ශානි අබේසේකර සහ තමන්ට බලපෑම් කොට ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය උත්සාහ කළ බව අධිකරණයට දැනුම් දුන් බව පැවසූ අනෙක් සැකකරු තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළේය.

ශාලික විමලසේන – ලංකා සතිඅන්ත ජාතික පුවත්පත

Facebook
Twitter
LinkedIn