ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ජීවමාන සාක්ෂියක් ලෙස පැවති පෞරානික බුවනෙකබාහු රාජ මණ්ඩපය යැයි සැලකෙන ගොඩනැගිල්ල පසුගිය 14 වනදා රාත්‍රියේ ඩෝසර් කර කඩා විනාශ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ වාර්තාව අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වෙත බාරදී තිබේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටී.ජී කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්‍යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ යන මහත්ම මහත්මින් මෙම කමිටුව නියෝජනය කරති.
අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන් කමිටු වාර්තාව සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එම වාර්තාව මඟින් යෝජනා 05ක් ඉදිරි පත් කර ඇති බවයි.
එනම්,
01. ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුවී ඇත්තේ පියස්සේ කොටසකට හා ජනේල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව ඇත. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක හා ගඩොළු ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව ඇත. එම නිසා මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙස වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතියි. එබැවින් පැරණි ගොඩනැගිල්ල කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.
02. මෙම ගොඩනැගිල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
03. මෙම ස්ථානය පුළුල් කිරීමේ සැලැස්ම සංශෝධනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට යෝජනා කිරීම.
04. මෙම විනාශයට වගකිව යුත්තන්ට නීතිමය පියවර ගැනීම.
05. විනාශය ට වගකිව යුතු ආයතන හෝ පුද්ගලයන් මඟින් සංරක්ෂණය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කරන ලදී.
මේ වනවිට එම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇතැයිද වාර්තා වේ.










