ලබන 16 සිට 20 දක්වා ඩෙංගු මර්දනයට යොදවයි

ලබන 16 දා සිට 20 වැනිදා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

ඉකුත් මාස කිහිපයේදී ඇතිවූ වර්ෂාවත් සමඟ ඩෙංගු අවදානමක් නැවතත් මතුවී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ.

මදුරු මර්දනයට මේ වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 300ක මුදලක් ද වෙන්කර තිබේ.

එක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශයක් කලාප 7කට බෙදා එක් කලාපයක් එක් දිනයක් ඇතුළත පිරිසිදු කිරීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කරන ලෙස චක‍්‍රලේඛය මගින් උපදෙස් දී තිබේ.

පසුගිය වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු රෝගය 28,137 කට වැළැඳී ඇති අතර ඩෙංගු මරණ 185 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

එසේම වැඩිම ඩෙංගු රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය 55.90‍% ක් බව පැවසේ.

ඉදිරි මාස කිහිපය තුළ දිවයින පුරා ඩෙංගු වසංගත තත්වයක් ඇතිවිය හැකි අවදානමක් තිබෙන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්