අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර 2020 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කිරීමට කටයුතු කර තිබේ.
ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් නිකුත් කර ඇති අතර පොලිස්පති එම උසස්වීමේ නියෝග නිකුත් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් පසුගිය 06 වනදා එම උසස්වීම අනුමත කිරීමෙන් පසුවය.
පොලිස් කොමිසම මෙම තීන්දුව ලබා දී ඇත්තේ, තමන්ට නිසි කලට හිමිවිය යුතු නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා නොදීමට එරෙහිව ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්ව්‍යාධිකාරයට ඉදිරිපත් කළ අභියාචනයක් දීර්ඝ ලෙස විභාග කර ලබා දුන් තීන්දුවක් අනුවය. 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්ව්‍යාධිකාරය ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කර ඇත්තේ පසුගිය මැයි 13 වැනිදාය.
2019 නොවැම්බර් ජනාධිපතිවරණයෙන් පසු, දින 03ක් ඇතුළත එනම් 2019 නොවැම්බර් 20 වැනිදා ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීමට එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටි අතර, පසුදින එනම් නොවැම්බර් 21දා රැස්වූ ජාතික පොලිස් කොමිසම ශානි අබේසේකරව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කර යැවිමට තීන්දු කර තිබිණි. ඒ වනවිට ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨතම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විය.
අත්තනෝමතික ලෙස තමන් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනු කර තිබිනි.










