මෙවර පාසල් නිල ඇදුමත් නැහැ

මෙවර පාසල් නිල ඇදුමත් නැහැ

ලබන වසර (2020) සඳහා ලබාදීමට නියමිත පාසල් සිසුන්ගේ නිල ඇඳුම් වව්චරය හෙට (29) දිනයෙන් ලබාදී අවසන්කිරීමට නියමිතව තිබුණද මෙවර එම ඇඳුම් වව්චර් ලබා දීමට කටයුතු කර නැති බව වාර්තා වේ.

පාසල් සිසුන්ට ලබා දෙන නිල ඇඳුම් සඳහා වවුචරය අහෝසි කර ඒ සඳහා රෙදි ලබා දෙන බව පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරණ වේදිකාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු බොහෝ කථිකයින් ප්‍රකාශ කළද නව රාජපක්ෂ ආණ්ඩුවේ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (28) ප්‍රකාශ කර ඇත්තේ පාසල් නිල ඇඳුම් ලබාදීම සඳහා වඩා ප්‍රායෝගික හා පහසු ක්‍රියාමාර්ගය වන්නේ වවුචර් පත් ලබාදීම බවයි.

එමෙන්ම ලබන වසරට අවශ්‍ය නිල ඇඳුම් සඳහා වව්චර්පත් ලබාදීම මෙම වසරේ අවසන් නිවාඩු වාරයට පෙර ලබාදියයුතුව තිබූ නමුත් එය තම ආණ්ඩුවට කර ගැනීමට නොහැකි වන බවත් එම වව්චරය අවම වශයෙන් ලබන වසරේ ජනවාරි මාසයේ දෙවන සතිය වනවිට හැකි වනු ඇති බවත් ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ (2018) ඔක්තෝබර් මස 26 වැනිදා සිදුවූ දේශපාලන කුමන්ත්‍රණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු මෙම වසර (2019) සඳහා ගියවසරේ ලබාදියයුතුව තිබූ නිල ඇඳුම් වව්චරය ලබාදීමද ප්‍රමාද කළ අතර එය නැවත ලබා දෙනු ලැබුවේ මෙම වසරේ මුල් පාසල් වාරයේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්