පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

පකිස්තාන සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි…

පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගි වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් අද (04) ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට වෙනස්කම් කිහිපයක්ම ඇතුළත් කර තිබේ.

වසර දෙකකට වැඩි කාලයකට පසුව දසුන් ශානක සහ සහන් ආරච්චිගේ නැවතත් එක්දින සංචිතයට කැඳවා ඇති අතර, වසරකට වැඩි කාලයක් අවස්ථාක් නොලැබුණ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුටද මෙවර යළි අවස්ථාව හිමිව තිබේ.

මීට අමතරව, ආබාධයකට ලක්ව සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකද සංචිතයට ඇතුළත් කර ඇති නමුත්, ඔහු තරගාවලිය සඳහා සහභාගි වන්නේ වෛද්‍ය පරීක්ෂණවලින් පූර්ණ ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීමෙන් අනතුරුව පමණක් බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරය ප්‍රථමයෙන්ම තරග 3කින් යුත් විස්සයි20 තරගාවලියකින් ආරම්භ වීමට නියමිත අතර එම තරග ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවලදී පැවැත්වේ.

විස්සයි20 තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව, ඔක්තෝබර් 18 වැනිදා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු තරගයෙන් තුන්කොන් එක්දින තරගාවලිය ආරම්භ වන අතර එය ඔක්තෝබර් 27 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එක්දින තුන්කොන් තරගාවලිය නිම වීමෙන් පසුව, අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකටද ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස් (නායක), පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචින්දු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, එශාන් මාලිංග.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්