ශ්‍රිලනිප, එජාප, පොහොට්ටු පිල් මාරුවක

ශ්‍රිලනිප, එජාප, පොහොට්ටු පිල් මාරුවක

එළැඹෙන ආසන්න මැතිවරණයකදී මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ‘පොහොට්ටු’ කණ්ඩායම නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අතරින් පිරිසක් ඉදිරියේදී එජාපය හා එක්වීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටිති. මෙම එක්වීමේ මූලික එකඟතා ඇති වී තිබෙන අතර ආසන සංවිධායක ධුර පිළිබඳව සහ ලබාදීමට යෝජිත තනතුරු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එජාප සභාපති අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසා සිටියේ ඉදිරියේදී පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එජාපය සමඟ එක්වීම සත්‍යයක් බවයි.

“ඒකාබද්ධ විපක්ෂයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වීමට සිටිනවා. ඒ අයට එන්න අපි ළඟදීම අපේ පක්ෂයේ දොරවල් විවෘත කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඒ අතර ජනාධිපතිවරණයට දින නියම කිරීමත් සමඟ ශ්‍රීලනිප ඉහළම නායකයන් දෙදෙනෙක් එජාපයට එක්වීමට කැමැත්ත පළ කර ඇත. කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජනය කරන මෙම දෙදෙනා දැනටමත් තමන්ට අමතරව එජාපය හා එක්වන සෙසු පිරිස්ද සංවිධානය කරමින් සිටිති.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ඉක්මන් එකඟතාවයකට නොඑන්නේ නම් බදුල්ල, මාතලේ, නුවරඑළිය සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ‘පොහොට්ටුව’ට එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

ඒ සමඟ ශ්‍රීලනිප සහ පොහොට්ටුවේ අයට ආසන සංවිධායකකම් ලබාදුනහොත්, තමන් එජාපය හැර යන බව එජාපයේ පිරිසක් පක්ෂ නායකත්වයට දැනුම්දි ඇත.

එස්.කේ. ගමගේ – ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn