ඥානසාර හිමි ඇතුළු 13ක‌‌ගේ නඩු තීන්දුවට එරෙහිව ‌ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත නිෂ්ප්‍රභයි

ඥානසාර හිමි ඇතුළු 13ක‌‌ගේ නඩු තීන්දුවට එරෙහිව ‌ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත නිෂ්ප්‍රභයි

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ලබාදී තිබූ නියෝගය එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබූ ප්‍රතිශෝධිත අයදුම්පත අභියාචනාධිකරණය නිෂ්ප්‍රභ කර ඇතැයි කොළඹ මහාධිකරණය අද(30) විවෘත අධිකරණයේදී පැවසීය.

2008 වසරේ මාලඹේ – තලාහේන ප්‍රදේශයේ පිහිටි කල්වාරි යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභහානි සිදුකළ බවට චෝදනා කරමින් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුලු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවට අදාල තීන්දුව 2017 වසරේ කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශයට පත්කළ අතර එහිදී ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කර තිබිණි.

එම තීන්දුව අහෝසිකර නැවත කැඳවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන අයදුම්පතක් අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ අතර එය කැඳවීමට නියෝග කර තිබියදී අයදුම්පත ඉල්ලා අස්කරගන්නා බව නීතිපතිවරයා විසින් දන්වා ඇත.

පසුව එම අයදුම්පත නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය එම තීන්දුව මහාධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලෙස දැනුම් දී තිබිණි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විවෘත අධිකරණය හමුවේ අභියාචනාධිකරණ තීන්දුව අද ප්‍රකාශ කර සිටියේය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්