ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙ අත්සනින් යුතු ඩිප්ලෝමා හා පදක්කම් ප්‍රදානයක් සිදු කිරීමට රුසියානු රජය තීරණය කර තිබේ.
ඒ 2017 වර්ෂයේදී ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හා එක්ව රුසියානු රජය සංවිධානය කළ “19 වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල” සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දීම සඳහා කැපවී කටයුතු කළ බැවිනි.
ඒ අනුව අද (11) කොළඹ පිහිටි රුසියානු සංස්කෘති මධ්‍යස්ථානයේදී අදාළ පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදු කර ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි (Yuri Materiy) මැතිතුමන්ගේ සුරතින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදුකරන ලදී.
19 වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල රුසියාවේ පැවති සමයේ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශය වන සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික කමිටු සමාජික පුබුදු නුවන් සමරවීර මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාට සහ කොමියුනිස්ට් තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් තමර ධනංජය මහතාටද මෙහිදී පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය සිදු කර ඇත.
2017 වර්ෂයේ රුසියානු රජයේ සෝචි නගරයේ පැවති 19 වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල සඳහා රටවල් 47ක වාමාංශික පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයෝ සහභාගී වී සිටියහ.










