මාතලේ සමූහ මිනී වළ තුළ වළදමා ඇති බවට සැලකෙන 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවේ පෙනී සිටීමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ගමගෙදර දිසානායක මහතා පවසයි.
මහාචාර්ය රාජ් සෝමදේව සහ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතාගේ වාර්තා සැලකිල්ලට ගෙන 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන් මෙම සමූහ මිනී වළේ වළ දමා ඇති බවට උපකල්පනය කරමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූලික තොරතුරු මේ වනවිටත් රැස්කිරීම සිදුවන බවද ඒ මහතා පැවැසීය.
මෙම සමූහ මිනී වළ 89-90 වකවානුව තුළ වූ ඝාතනය වූවන් වළ දැමූ තැනක් බවට මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා වැනි පරිණත නිලධාරීන් විසින් ලබාදී ඇති වාර්තා ලඝු කොට සැලකීමේ හැකියාවක් නොමැති නමුත් පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් ඉල්ලීමට සහ ජනාධිපති කොමිසමට අමතරව පක්ෂය විසින් විශේෂ කමිටුවක් පත්කර මෙම සමූහ මිනී වළ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබෙන බවත් පැවැසූ දිසානායක මහතා පෙර කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපති කොමිසම කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවද කීය.
මාතලේ සමූහ මිනී වළ පිළිබඳ ඇති ප්රශ්නය යටපත් කිරීමට කිසිසේත් ඉඩ දීමට නොහැකි බැවින් බොහෝ විට ලබන මැයි 08 දින මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ 89-90 වකවානුව තුළ අතුරුදන් වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවද පැවැසීය. මාතලේ රෝහල් භූමියෙන් නිරාවරණය වූ මෙම සමූහ මිනී වළෙන් මේ වනවිට මිනිස් අස්ථි කොටස් සහිත ඇටසැකිලි 155ක් සොයා ගෙන ඇති අතර ඇතැම් ඇටසැකිලි ගෙල සිඳ මරා දැමූ සහ වධ හිංසාවලට ගොදුරුව ජීවිතක්ෂයට පත් වූවන්ගේ බවට මත පළවෙමින් තිබෙන බවද පැවසීය.









