රාජ්‍ය සේවයට උපාධිධාරින් බඳවා ගැනීම උපාධිධාරින්ගේ උපරිම වයස් සීමාව වයස 35 ට සීමා කර ඇති බවත් මේ හරහා උපාධිධාරීන් විශාල රැකියා අවධානමකට ලක්වන බවත් රැකියාලාභී උපාධිධාරී සංගමය පවසයි. එම සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියාරච්චි මහතා විසින් රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් මේ බව පවසා ඇත.
එම ලිපිය සම්පූර්ණයෙන් මෙලෙස පල කර සිටිමු.
“2012. 02. 14 දින නිකුත් කළ 1745/11 අංක දරන වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව ඇතුලත් ගැසට් පත්‍රයේ එම වයස් සීමා කොන්දේසිය සඳහන් කර ඇත. ආණ්ඩුව සම්මත කළ සේවා ව්‍යවස්ථාවේ අවු. 35 වයස් සීමා කොන්දේසිය මත 2012 වර්ෂයේ අභ්‍යාසලාභි උපාධිධාරි පදනමට ඇතුලත් වූ උපාධිධාරින් විශාල ප්‍රමාණයකට සිය රැකියා ස්ථිර නොවීමේ අවදානමක් මේ වනවිට නිර්මාණය වී ඇත. එම ප්‍රමාණය 20,000කට ආසන්න බව දිස්ති‍්‍රක් මට්ටමින් ලබාගත් තොරතුරු වලින් අනාවරණය වී ඇත.
සාමාන්‍යයෙන් රජයේ තනතුරු සඳහා ඉදිරිපත් විය හැකි උපරිම වයස් සීමාව අවුරුදු 45ක් සේ සැලකෙන අතර එය රටේ සාමාන්‍ය බවටද පත් වී ඇත. නමුත් පවතින සාමාන්‍ය තත්ත්වය පවා වෙනස් කරමින්, වෘත්තීය සමිති අදහස් යෝජනා වලටද ඇහුම්කන් නොදී ආණ්ඩුව උපාධිධාරියෙකුට රාජ්‍ය අංශයේ රැකියාවක් ලබාගැනීමේ අයිතිය මේ හරහා උල්ලංඝනය කර ඇත. පැවති හා පවතින කිසිදු රජයක් උපාධිධාරින් සඳහා වාර්ෂිකව හෝ පුරප්පාඩු ඇතිවන අනුපිළිවෙලට උපාධිධාරින් සඳහා රැකියා ලබා දී නොමැත. එම නිසාම විශ්වවිද්‍යාලවලින් පිටවූ උපාධිධාරින්ට රැකියා විරහිතව සැලකිය යුතු කාලයක් ගෙවන්නට සිදුවීම අනිවාර්යයකි. එය සාමාන්‍යයෙන් වසර 05ක් හෝ 06ක් ඉක්මවන අවස්ථා සුලභය. එවන් වටපිටාවක රාජ්‍ය සේවය සඳහා උපාධිධාරින් බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව 35 ලෙස නීතිගත කිරීම බරපතල අසාධාරණයකි. එමෙන්ම රැකියාවක් කිරීමේ අයිතිය උදුරා ගැනීමකි.
2012. 02. 14 වන දින ආණ්ඩුව සම්මත කර ගැසට් කළ වැඩසටහන් නිලධාරි ව්‍යවස්ථාවට එරෙහිව අප සංගමය මගින් කෙටුම්පත් කර රජයට බාරදුන් ශී‍්‍ර ලංකා සංවර්ධන සේවා ව්‍යවස්ථාවේ උපාධිධාරින් බඳවාගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු 45 ලෙස යෝජනා කර ඇත. නමුත් අද වනතුරුත් රජය එම යෝජනාවලියේ යෝජිත නිවැරදි හා සාධාරණ ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. ඒ පිළිබඳවද අපගේ විරෝධය පලකර සිටිමු.
2012 වර්ෂයේ මාස 06ක පුහුණු කාලසීමාවකට යටත්ව බඳවාගත් අභ්‍යාසලාභි උපාධිධාරින්ගේ පුහුණුව මේ වනවිට මාස 14ක් ඉක්මවා ගොස් අවසන්ය. අදාල කාලසීමාව අවසන් වුවද වයස අවුරුදු 35ක සීමාව ඉක්මවා ඇති අභ්‍යාසලාභින් ස්ථිර කිරීම ව්‍යවස්ථානුකූල අර්බුදයක් බවට පත්ව ඇත. අභ්‍යාසලාභි පදනම යටතේ සිටින වයස 35 ඉක්මවූ උපාධිධාරින් ස්ථිර කිරීමට හැකි වන්නේ 2012. 02. 14 අංක 1745/11 දරණ සේවා ව්‍යවස්ථාවට වයස් සීමාව අවුරුදු 45ක් ලෙස සංශෝධනය කිරීමේ සංශෝධිත ගැසට් පත්‍රයකින් පමණි.
එම නිසා වයස අවුරුදු 35ක් ඉක්මවූ සියලු අභ්‍යාසලාභි උපාධිධාරින්ට ද ස්ථිර රැකියා හිමිවන පරිදි හා අනාගතයේ වයස අවුරුදු 45ක් දක්වා වූ සියලු උපාධිධාරින්ට රජයේ රැකියා සඳහා ඉල්ලුම් කළ හැකි වන පරිදි 35 වයස් සීමා කොන්දේසිය ඉවත් කරන ලෙසත්, ඒ සඳහා උපරිම වයස් සීමාව අවුරුදු 45 ලෙස සංශෝධනයක් කඩිනමින් අනුමත කරන ලෙසත් අප සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.
අදාල සංශෝධනය කඩිනමින් ගෙන එන ලෙස අප ආණ්ඩුවෙන් හා අදාල වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින අතර එය කඩිනමින් සිදුනොවන්නේ නම් වයස් සීමා කොන්දේසිය මත අසාධාරණයට ලක්වන සියලු උපාධිධාරින් ඒකරාශි කර ගනිමින් අදාල සංශෝධනය නිකුත් කරන තෙක් අරගල කරන බවද වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.”









