කිරිබත්ගොඩ නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ වෙළෙඳසලකට කඩාවැදුණු කොල්ලකරුවන් දෙදෙනකු ඊයේ (31) පෙරවරුවේ එහි සිටි සේවිකාවන් දෙදෙනා ආයුධ පෙන්වා බියගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න ස්වර්ණාභරණ කොල්ලකා ඇත.
ස්වර්ණාභරණ වෙළෙඳසලේ සේවිකාවන් දෙදෙනා ඊයේ පෙරවරුවේ සේවයට පැමිණ වෙළෙඳසල විවෘත කිරීමට සූදානම් වෙද්දී යතුරුපැදියකින් එහි පැමිණි කොල්ලකරුවන් දෙදෙනා සේවිකාවන් ද තල්ලු කරගෙන වෙළෙඳසල තුළට ගොස් එහි වූ සේප්පු විවෘත කර මෙම කොල්ලය සිදුකර ඇතැයි පැවසේ.
මේ අවස්ථාවේ වෙළෙඳසලේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරියා කොල්ලකරුවන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට කටයුතු කර ඇතත් මෙහිදී කොල්ලකරුවන් එම ආරක්ෂකයාගේ එක් අතකට පිහියකින් පහර දී දරුණු තුවාල සිදුකර තිබේ.
ඒ සමඟම වෙළෙඳ සේවිකාවන් අනතුරු ඇඟවීමේ සංඥ ක්‍රියාත්මක කර ඇති අතර එය දුටු කොල්ලකරුවන් වහාම පොලිසිය පැමිණීමට පෙර පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් ඇත.
මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය හා බස්නාහිර පොලිස් බුද්ධි ඒකකය ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.









