මහාචාර්ය සුචරිත ගම්ලත්හු අද නික්ම යති

පෙරේදා (30) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවූ, වාග් විද්‍යාඥයෙක්, විරල ගණයේ සාහිත්‍යදරයෙක් මෙන්ම මාක්ස්වාදී විචාර කලාව පෝෂණය කිරීමට මහගු සේවාවක් සිදුකල, වසර ගණනාවක්‌ තිස්‌සේ මෙරට සාහිත්‍ය කෙත පෝෂණය කළ ප්‍රශස්‌ත සාහිත්‍යධරයකු වූ මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) බොරැල්ල කනත්ත සුසාන භූමියේදී සවස 4.00 ට සිදුකෙරේ.

දෙදරු පියෙකුවූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට අසූ වැනි වියෙහි පසුවිය. 1969දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබගත් ගම්ලත් මහතා 1970දී කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. 1975දී යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ මහාචාර්යවරයා වූ ඒ මහතා එහි මානව ශාස්‌ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාද විය.

1979දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සේවයට එක්‌වූ ඒ මහතා භාෂා 10ක්‌ පමණ චතුර ලෙස හැසිරවීමට සමත් වූවෙකි. විචාරකයකු, සාහිත්‍යකරුවකු ලෙස කටයුතු කරමින් හෙතෙම මාක්ස්වාදය, දර්ශනය, භාෂාව, දේශපාලනය, නාට්‍ය කලාව, විචාර, සමාජ විද්‍යාව යන විෂයයන්ට අදාළව ග්‍රන්ථ 80 ක්‌ පමණ රචනා කර ඇත.

Facebook
Twitter
LinkedIn