ඇන්ටොනොව් 32 ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර 37 දෙනෙකු මරණයට පත්කිරීම සම්බන්ධව අධිචෝදනා ලැබ සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනෙකුට වසර 185 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී තිබේ.
පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තු වනගත ප්‍රදේශයේ සිට මිසයිල ප්‍රහාරයක් එල්ලකර බිම හෙලීම සම්බන්ධව අධි චෝදනා ගොනුව සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මිසයිල බලගනයේ සාමාජිකයන් දෙදෙනෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා මෙම නියෝගය සිදුකර තිබේ.
ගුවන් යානය බිම හෙලන අවස්ථාවේ ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් සහ යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු 37 දෙනෙකු සිට ඇත.
සැකකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව අධිචෝදනා 37 බැගින් ගොනුකර තිබූ අතර එම චෝදනා සඳහා සැකකරුවන් දෙදෙනා වරද පිළිගෙන තිබේ.
ඒ අනුව එක් චෝදනාවකට වසර පහ බැගින් වසර 185ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ අතර මෙම වසර 185ක කාලය වසර පහකින් එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.
2000 වසරේ මාර්තු මස අවසන් භාගයේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සිට මිසයිල ප්‍රහාරය එල්ලකර තිබූ අතර මීට පෙර සිද්දිය සම්බන්ධව ඉරාෂතුරෙයි ජෙගන් සහ නල්ලාම් ශිවලිංගම් යන විත්තිකරුවන් ප්‍රහාරය සිදුකළ බවට පාපොච්ඡාරණය කර තිබුණි.
කොටි සංවිධානයේ මිසයිල බලඝනයේ හිටපු සාමාජිකයෙකු වන ඉරාෂතුරෙයි ජෙගන් නැමැති විත්තිකරු ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයට ලබාදී තිබූ පාපොචිචාරණය නිත්‍යානූකුලද, නැද්ද යන්න පිළිබදව තීරණය කිරීම සඳහා අනුරාධපුර මහාධිකරණයේදී මීට පෙර දීර්ඝ නඩු විභාගයක් පැවැත්වූ අතර එහි තීන්දුව ලබාදෙමින් මහාධිකරණය තීරණය කළේ පාපොච්ඡාරණය නීත්‍යානුකූල බවයි.
නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස අධිචෝදනා ලැබ සිටි එල්.ටී.ටී.ඊ. මිසයිල බලඝනයේ හිටපු සාමාජික නල්ලාමි ශිව ලිංගම් යන අයද මෙම ප‍්‍රාහාරය එල්ල කර ගුවන් යානය විනාශ කළේ තමන් බවට පිළිගනිමින් මීට වසර කිහිපයකට පෙර ත‍්‍රස්ත විමර්ශන කොටිඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුට ලබාදී ඇති පාපොචිචාරණයද අනුරාධපුර මහාධිකරණයේ හිටපු විනිසුරු හා ගම්පහ පළාත්බද වත්මන් මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය මීට පෙර තීරණය කළාය.










