මේ වනවිට රටේ ඇති කර තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ලෝකයේ ජනතාව අතර අපේ රට පිළිබඳව කිසියම් නොසතුටක් ඇති බව තමන්ට ඔවුන්ගේ ඉරියව්වලින් දැනගන්නට හැකි වු බවත් එයට හේතුව රටේ පාලනය කරන ඇත්තන් රට කරවන තැන කරනු ලබන හැසිරිම බවත් ශ්‍රී ලංකාවේ ආදි වාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසති. පසුගියදා ඉන්දියාවේදි පැවැති රටවල් 28ක පාරම්පරික වෛද්‍යවරුන්ගේ පාරම්පරික වෛද්‍ය සම්මේලනයකට සහභාගි වු අවස්ථාවේදි තමන් එසේ මහත් අපහසුතාවට පත්වූ බවද වන්නියලැත්තෝ පවසති.
ආදිවාසිනායක වන්නිල ඇත්තන් මෙසේ පැවැසුයේ ඊයේ (23) පෙරවරුවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසක් ආදිවාසි නායකයා හමුවු අවස්ථාවේදිය.
“ඇත්තටම මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය ගුටි පොජ්ජ මන්දු කරගන්නව (ගහ ගන්නව), කටපිච්චෙන කුඩු පොජ්ජ (මිරිස් කුඩු) මන්දු කරගන්නව. මේව ළා කැකුලො (පොඩි ළමයි) මන්දු කරන වැඩ පොජ්ජවල්” බවද ආදි වාසි නායකයා පැවැසිය.
ඒ සම්බන්දව ආදිවාසිනායකවරයා තවදුරටත් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.
“ඒ රටවල් 28 අතරෙ මට පොඩි රුකුල් පොජ්ජක් (පොඩි කාමරයක්) තිබ්බ. ඒකේ ශ්‍රී ලංකාව කියල නම ගහල තිබ්බ. මම එතන මගේ පාරම්පරික වෛද්‍ය උපකරණ බෙහෙත් ඖෂධ ආදිය තියල තිබ්බ. එක එක රටවල්වල අය ඇවිත් ශ්‍රී ලංකා බෝඩ් එක බලනව. මම ඒ අයගෙ මුහුණ දිහා බලල ඒ, ඉරියව්වලින් අපේ රට කෙරෙහි වෙනත් රටවල්වල ජනතාවගෙ කැමැත්ත අකමැත්ත බැලුවා.
සමහර අය එතනට ඇවිත් බෝල ගහන කැකුළන්ගෙ නම් කියල නියමයි කියනව. සමහර අය මගෙ බෙහෙත් ඖෂධ බලල හොඳයි කියනව. ශ්‍රී ලංකාව කියන බෝඩ් එක දැක්කම තවත් සමහර අයගේ මූණ අඳුරු වෙනවා.
අපේ රටේ නම ලෝකෙට යකකොට සමහර කොටසක් සතුටු වෙනව සමහර කොටසක් අපව අප්‍රිය කරන බව මට එයින් තේරුණා. මේකට හේතුව තමා මේ රටේ ඉන්න සියලුම නායකයන්. ඒ ගොල්ලන් කල්පනා කරන්න ඕන තමන්ගෙ බලය හා ශක්තිය ගැන නෙමේ. ජනතාවත් සියලු නායකයොනුත් කල්පනා කරන්න ඕන අපේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය රැක ගන්න ඕන කොහොමද කියලයි.
රටක් හැටියට ජාතියක් හැටියට ලෝකෙට කතා කරන්නෙ මේ රට මහ ජාතියක් කියලයි. මහ ජාතියයි කියල කියන මේ අයගෙ ප්‍රතිපත්ති හැසිරීම මේකද? මේ අයගෙ සංස්කෘතිය මේකද කියල ලෝකෙ ජනතාව හිනාවෙනවා.
මම කතා කරන්නෙ නෑ අර ජාතිය මේ ජාතිය ගැන. මේ හැම දෙයක්ම විකාරයක්. මිනිස්සු හැටියට මේ ලෝකෙට ඉපදුනේ එක්කෙනයි. අපි සියලු දෙනාම මේ රටේ සහයෝගයෙන් එකට ජිවත් විය යුතුයි.
අපේ රටේ මේ අර්බුදය ඇතිවන අවස්ථාවෙ මම වෛද්‍ය සම්මේලනයකට සහභාගි වෙලා හිටියෙ ඉන්දියාවෙ. මාත් එක්ක ගිය අය කිව්ව අපේ පාර්ලිමේන්තුවේ කට පිච්චෙන කුඩු පොජ්ජවල් මන්ද කරගෙන (මිරිස් කුඩු ගහගෙන) කියල. ඇත්තටම කල්පනා කරපුවම මේක කොයි තරම් පහත් වැඩක්ද ? මේව මේ ළා කැකුළන් කරන වැඩ. ළා කැකුළන් එකට එකතු උනාම ගුටි පොජ්ජවල් මන්දු කරණව (ගහ ගන්නවා). හැපුම් පොජ්ජ මන්දු කරනව (හපා කනවා).
රජ කාලෙත් කපුවල ඇත්තන්ගෙ උපදෙස් අනුව තමා රට පාලනය කෙරුවෙ ඒ නිසා ඒ ආගමික නායකයන්ගෙ උපදෙස් මත රට පාලනය කල යුතුයි.” යැයිද ආදි වාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ පැවසූහ.
රටේ අර්බුදකාරි තත්වයට සියලු ජාතින්ගේ ආගමික නායකයන් එකතුව යම් තිරණයකට පැමැණිය යුතුයි. මේ අවස්ථාවේදි, විශේෂයෙන්ම මල්වතු මහානායක හිමිවරුන් හා අස්ගිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ඇතුලු සියලුම ආගමික නායකයින් එකතුව රටේ ගැටලුව විසදා ගැනිම සදහා නායකයන්ට උපදෙස් දිය යුතු බවද ආදි වාසි නායකයා පැවැසිය.
ලංකාදීප










