නිශාන්ත සිල්වා මාරු කළේ ජනපති නියෝගයෙන් බව තහවුරුවෙයි

නිශාන්ත සිල්වා මාරු කළේ ජනපති නියෝගයෙන් බව තහවුරුවෙයි

පසුගියදා හදිසියේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව පොලිස් කොට්ඨාසය වෙත මාරු කරන ලද පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් අදාළ මාරුවීම ලබා දෙන ලද්දේ ජනාධිපතිවරයාගේ නියෝග මත බව මාධ්‍යවලින් අනාවරණය වනවිට ජනාධිපතිවරයා එසේ නියෝග කර නැතැයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර සහ මහින්ද සමරසිංහ යන මන්ත්‍රීවරු තහවරු කර සිටියේ ජනාධිපතිවරයා එවැනි නියෝගයක් නිකුත් කර නැති බවයි.

කෙසේ නමුත් මේ වනවිට තමා විසින් අදාළ මාරුවීම ලබා දුන්නේ ජනාධිපතිවරයාගේ නියෝගය මත යැයි සඳහන් කරමින් පොලිස් පති පූජිත ජයසුන්දර මහතා ආරක්ෂක ලේකම්වරයා අමතා යොමු කර ඇති ලිපියකින් අනාවරණය වේ.

මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙනයාම්, අතුරුදහන් කිරීම් වැනි පැවති රාජපක්ෂ පාලන සමයේ සිදු කළ අපරාධ රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාගේ මාරු කිරිම පිටුපස ජනාධිපතිවරයා සිටින්නේදැයි අද (22)  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසා සිටින විට,

දයාසිරි ජයසේකර :- නිශාන්ත මාරුකරන්න ජනාධිපති කිව්වේ නැහැ.

මාධ්‍යවේදියෙක් :- ජනාධිපතිගේ නියෝගය පරිදි ඔහු මාරු කළ බව පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලිඛිතව දැනුම් දීලා තියෙනවා.

දයාසිරි  ජයසේකර :- පොලිස්පති ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා.‍

මහින්ද සමරසිංහ  :-  සාමාන්‍ය ක්‍රමවේදයට පොලිස් කොමිසමට තමයි පුලුවන් ඔහු මාරු කරන්න. එය මගහැර ඔහු මාරු කරන්න පොලිස්පතිට බැහැ.

මාධ්‍යවේදියෙක් :- සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් පහළ නිලධාරීන් මාරු කිරීමේ බලය පොලිස් කොමිසමෙන් පොලිස්පතිට ලබා දී තිබෙනවා. පොලිස්පති ආරක්ෂක ලේකම්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා ඔහු මාරු කළේ ජනාධිපතිගේ නියෝග මත බව.

මහින්ද සමරසිංහ :- ජනාධිපති කිසිම උපදෙසක් දීලා නැහැ ඔහු මාරු කරන්න.

කෙසේ නමුත් පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමු කර ඇති ලිපියේ සඳහන් වන්නේ “කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දෙන ලද නියෝග හා උපදෙස් අනුව, 2018.11.18 වන දිනැති දු.ක.ප අංක 128 මගින් සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් පරීක්ෂක ඊ. නිශාන්ත සිල්වා නිළධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමුව කොට්ඨාශය වෙත ස්ථාන මාරුවීම් නියෝග ලබා දීමට කටයුතු කරන ලදී.” යනුවෙනි.

කෙසේ වෙතත් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවනු ලැබූ ස්වාධීන පොලිස් කොමිසම සක්‍රීයව පැවතීම හේතුවෙන් අදාළ මාරුකිරීම මේ වනවිට තාවකාලිකව අවලංගු කර තිබේ.

Facebook
Twitter
LinkedIn