මහජන බැංකුවේ හිටපු සහ වත්මන් GMලා ලක්ෂ 750ක හිඟ වැටුප් ලබාගෙන 

මහජන බැංකුවේ හිටපු සහ වත්මන් GMලා ලක්ෂ 750ක හිඟ වැටුප් ලබාගෙන 

මහජන බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා සහ හිටපු සාමාන්‍යාධිකාරීවරයා රුපියල් ලක්ෂ 750ක හිඟ වැටුප් වර්ධකයක් ලබාගෙන ඇතැයි කෝප් කමිටුව හමුවේ අනාවරණය වී තිබේ.

‍මේ වනවිට සිය මාසික වැටුප ලෙස රුපියල් ලක්ෂ 21ක් ලබාගන්නා මහජන බැංකුවේ සමානාධිකාරීවරයාට කිසිදු සේවා දිගුවක් ලබානොදෙන ලෙසත්, ඔහුගේ සේවය අවසන් කරන ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) නිර්දේශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට කරුණු අනාවරණය කළේය.

මහජන බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන එන්. වසන්ත කුමාර මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති බවත් එසේ තිබියදී මහජන බැංකුවේ ප්‍රතිපත්ති වෙනස්කරමින් වසරක සේවා දිගුවක් ඉල්ලා ඇති බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

කෝප් කමිටුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ඒ බව දන්වමින් කෝප් කමිටුව මුදල් අමාත්‍යාංශයට සහ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට යොමුකළ නිර්දේශ එම අමාත්‍යාංශ පිළිගෙන ඇති බවත් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා කීවේය.

2001 වසරේ කොන්ත්‍රාත් පදනම යටතේ රුපියල් ලක්ෂයක වැටුපට සේවයට ඇතුළත් වී ඇති මහජන බැංකුවේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා සිය හිඟ වැටුප් වර්ධක ලෙස රුපියල් ලක්ෂ 360ක් පසුගිය ජුනි මාසයේදී ලබාගෙන ඇති අතර හිටපු සාමාන්‍යාධිකාරීවරයාවන සහබ්රීන් මහතා හිඟ වැටුප් වර්ධක ලෙසරුපියල් ලක්ෂ 380ක් ලබාගෙන ඇති බවද කෝප් කමිටුවට අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා,

“මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා අවුරුදු 60 සම්පුර්ණ වුණාට පසුවත් තවත් වසරක සේවා දිගුවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබුණා. මේ කාරණය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට යොමුවුණා. නමුත් ඒ වසන්ත කුමාර කියන මෙම සාමාන්‍යාධිකාරීවරයා 2001 වසරේදී කොන්ත්‍රාත් පදනමින් පැමිණ තිබෙන්නේ ලක්ෂයේ වැටුපට.

මේවනවිට මාසික වැටුප ලක්ෂ 21ක් ලබන කෙනෙක්. හිටපු සමාන්‍යාධිකාරීවරයාටත් අදාළ වන විදිහට හිඟ වැටුප් වර්ධයක් ලෙස ලක්ෂ 750ක මුදලක් අරගෙන තිබෙනවා. වසර 60 සම්පූර්ණ වුණ අය සාමාන්‍යාධිකාරීවරයෙක් වශයෙන් දීර්ඝ නොකර බැංකුව තුළින්ම බඳවාගැනීමට නිර්දේශයක් ලබාදුන්නා. මේ සේවා දිගු ඉල්ලීම පොදු ව්‍යාපාර කාරක සභාව ප්‍රතික්ෂේප කළා.

පොදු ව්‍යාපාර කාරක සභාවේ මේ කරුණු සලකා බලා සිදුකළ නිර්දේශ මුදල අමාත්‍යාංශයත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයත් පිළිගත් බව අප වෙත දැනුම්දීලා තියෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයාට ඒ බව ලිඛිතව දැනුම්දීලා තිබෙනවා. මෙම සේවා දිගුව නතරකරලා ලක්ෂ ගණනක් වැටුප් ලබනු වෙනුවට පොදුවේ රාජ්‍ය බැංකු සියල්ලටම අදාළ වන පොදු ක්‍රමයට බඳවාගැනීම් සිදුකරන ලෙස ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

Facebook
Twitter
LinkedIn