හෙන්රි පේද්‍රිස් පිටියත් බදුදෙයි – ජවිපෙන් තවත් හෙළිදරව්වක්

හෙන්රි පේද්‍රිස් පිටියත් බදුදෙයි – ජවිපෙන් තවත් හෙළිදරව්වක්

කොළඹ මහ නගර සභාවට අයත් හැව්ලොක් පාරේ පිහිටි හෙන්රි පේද්‍රිස් නාගරික ක්‍රීඩාංගණය පිටස්තර ආයතනයකට බදුදීමට නගරාධිපතිනිය පිඹුරුපත් සකසමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරු චෝදනා කරති.

මෙම ක්‍රීඩාපිටිය පාසල් සිසුන්ගේ හා ප්‍රදේශවාසී ක්‍රීඩා කණ්ඩායම්වල තරුණ තරුණියන්ගේ ප්‍රයෝජනයට ලබාදෙන ලෙසටත් එය පෞද්ගලික සමාගමකට නොපවරන ලෙසටත් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් මෙම 24 වැනිදා පැවැත්වෙන නගර සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ යෝජනාව ඉවත් කර ඇතැයිද ජවිපෙ නාගරික මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා සඳහන් කරයි.

වසර ගණනාවක පටන් ප්‍රදේශයේ දරුවන්ගේත් පාසල් සිසුන්ගේත් ක්‍රීඩා කෞශල්‍ය නැංවීම සඳහා ලබා දී තිබූ මෙම පැරැණි ක්‍රීඩාංගණය මෙසේ බදු දීමට ගෙන ඇති තීරණයට එරෙහිව පුරවැසි සංවිධාන කීපයක්ම නගරාධිපතිනිය වෙත ලිපියක් භාරදීමට නියමිත බවද කොළඹ මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හේමන්ත වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

නගරාධිපති නිල නිවසේ නවීකරණය කර තිබූ වැසිකිලි පද්ධතිය ගලවා ඉවත් කර රුපියල් ලක්ෂ 57ක වියදමින් යළි නවීන පන්නයේ වැසිකිලි පද්ධතියක් සවි කිරීම සඳහාත්, මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කර ගැනීම සඳහාත් පසුගිය දිනවල කොළඹ මහ නගරසභාවට යෝජනා ඉදිරිපත් වී තිබූ අතර එයටද විරෝධය පල කර තිබුනේ ජවිපෙ මන්ත්‍රීවරු 06 දෙනා පමණි.

Facebook
Twitter
LinkedIn