පසුගියදා කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේ පැවති රැස්වීමකදී විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතාමත් කිපුණු ස්වභාවයකින් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායක මහතා අරබයා එල්ල කළ විවේචනයට අනුර දිසානායක මහතා ඊයේ (04) අම්පාර නාමල් ඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකදී අනුර දිසානායක මහතා ප්‍රතිචාර දක්වන ලදී.
තමන්ගේ වයසටත් නොගැලපෙන වචන කියමින් තැන තැන පහර පහර යන වැඩේ නතර කර තමන් සමග සජීවී විවාදයකට පැමිණෙන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා සමග මහින්ද රාජපක්ෂ මහතා ඇතිකරගෙන තිබෙන එකඟතාවයන් හෙළිදරව් කිරීමට තමන් සූදානම් බවත් එම ජන හමුවේදී අනුර දිසානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කර සිටියේය.
අම්පාර නාමල් ඔය ප්‍රදේශයේදී පැවති ජනහමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා…
“එතුමගේ වචන එතුමගේ වයසට නොගැලපෙන වචන. ඒක නිසා මම එතුමගෙන් එකක් ඉල්ලනවා, කරුණාකරලා තමන්ගේ වචන සංවරව හසුරවන්න පුරුදුවෙන්න. ඔහු කියපු එකේ හරය තමයි අපි ආණ්ඩුව ආරක්ෂා කරමින් ඔහුට ප්‍රහාරඑල්ල කරනවලු. අපි රනිගේ ඔඩොක්කුවේ දේශපාලනය කරන්නෙත් නැහැ. අපි මහින්දගේ ඔඩොක්කුවේ දේශපාලනය කරන්නෙත් නැහැ. ඇයි? අපි ඔවුන්ට ණය නැහැ.
හැබැයි මම මහින්ද මහත්තයගෙන් අහනවා, එතුමා මේ ආණ්ඩුවෙන් කොච්චර ආරක්ෂා වෙලා තියෙනවද? ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්න යනකොට මහින්ද කතා කරා රනිල්ට. එහෙනම් කවුද රනිල්ගේ තෙල් ගාන්නේ? මහින්දනේ. තාජුඩීන්ගේ පරීක්ෂණය අතරමග නතරවී තිබෙන්නේ ඇයි? ලසන්තගේ ඝාතනයේ පරීක්ෂණ නතරවුනේ කොහොමද? මේ පරීක්ෂණ නතරවෙන්නේ මහින්ද සහ රනිල් අතර තියෙන එකඟතාවයක් මත. ඒ නිසා රනිල්ගෙන් ආරක්ෂා කරගන්න හෝ රනිල්ගෙන් බේරගන්න අපිට කිසිවක් නැහැ. රනිල්ගෙන් ආරක්ෂා කරගන්නත් රනිල්ගෙන් බේරගන්නත් ගොඩක් දේවල් තියෙන්නේ කාටද? රාජපක්ෂලාට. ඒක නිසා රාජපක්ෂ මහත්තයට මම කියනවා අපි දෙන්නා තර්ක කරමු.
නිකන් ඔයා එක තැනක කියනවා. මම එකතැනක කියනවට වඩා ඒක හොඳයි. මොකද ඒක ශිෂ්ඨ සම්පන්න නැහැ. ඒ නිසා මම හරි ආසයි, එතුමා මම නැති තැන කියනවා. මම එතුම නැති තැන කියනවට වඩා හොඳයි අපි දෙන්නා එක තැනක ඉඳගෙන සජීවී රූපවාහිනී නාලිකාවක, ඔය එතුමට සහාය දෙන විශාල නාලිකා ප්‍රමාණයක් තිබෙනවා. ඒ නාලිකාවක ඉඩ කඩක් හදන්න. මම සහ එතුමා, එතුමා මෙම ආණ්ඩුවෙන් බේරී තිබෙන විදිහ, එතුමාගේ වංචා දූෂණ, එතුමාගේ පවුලේ අය කර තිබෙන අපරාද, එතුමලා මේ රටෙත් පිටරටත් අරගෙන තිබෙන දේපළ පිළිබඳව සමස්ත විස්තරයක් මම මේ රටේ ජනතාවට හෙළිදරව් කරන්න ලෑස්තියි.
එහෙම නැතුව තැන තැන පහර පහර යන වැඩේ නතර කරන්න කියලා මම එතුමට කියනවා. මොකද මේ රටේ ජනතාව මේ සත්‍ය දැනගන්න ඕනා.”










