වර්තමානයේ පැන නැගී ඇති දේශපාලන තත්වයත් ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් ජනතාව දැනුවත් කරන ජනහමු දසදහසක් පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණ කර තිබෙන අතර එම ජනහමු මාලාව පසුගිය 15වෙනිදා ආරම්භ කරන ලදී.
“රට රකින, රට හදන, ජනතාවාදී පාලනයක්” යන තේමාවෙන් මෙම ජනහමු දසදහස ක‍්‍රියාත්මක වේ. මෙහිදී ඉදිරියේදී රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ සකස් කිරීම පිළිබඳවද ජනතාව සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට ජවිපෙ තීරණය කර තිබේ. මෙම ජනහමු මාලාව ආරම්භ කිරීමත් සමඟ බොහෝ පිරිසක් ජනහමු සඳහා සහභාගිවීමට පෙළඹී සිටිති.
“ඇත්තටම මන්ත‍්‍රීතුමා ඡන්දයක් නැති මේ වගේ වෙලාවක ඔබතුමාලා ජනතාවත් එක්ක දේශපාලන සංවාදයක් හදාගන්න එක වැදගත්. ඇත්තටම මිනිස්සුන්ට කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්නේ. අලුත් කණ්ඩායමක් එක්ක අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයක් දැන් රටට තියෙනවා.” ගම්පහ ප‍්‍රදේශයේ පැවැති ජනහමුවකින් පසු විජිත හේරත් මන්ත‍්‍රීවරයා සමඟ ජනහමුවට පැමිණ සිටි ගුරුවරයෙකු කියා සිටියේය.
“අද වෙනකොට මේ ආණ්ඩුවත් අසමත් කියලා පෙන්වලා ඉවරයි. ආයෙත් අපේ රටට ගෝඨාද, මහින්දද, මෛත‍්‍රීද, රනිල්ද කියලා සංවාදයක් හදන්න සමහරු උත්සහ කරනවා. නමුත් ඇත්ත සාකච්ඡාව හදන්න ඕනෑ රටට අලුත් වැඩපිළිවෙළක් හදන එක ගැනයි. අපි ඒක ආරම්භ කරලා තියෙනවා. ඒක හදන්නේ අපි විතරක් නෙවෙයි. රටේ උගත්තු බුද්ධිමත්තු, ක්ෂේත‍්‍රවල ප‍්‍රවීණයන් එකතුවෙලා ඒ වැඩපිළිවෙළ හදනවා. ඒ වෙනුවෙන් අපි දේශපාලන පරිපාලනය කරන්න සූදානම්. ඒ වෙනුවෙන් තමයි අපි මේ ජනතාව දැනුවත් කරන්නේ. ඒ වෙනුවෙන් ජනතාවටත් වගකීමක් තියෙනවා.” යැයි එහිදී විජිත හේරත් මහතා ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර සිටියේය.










