අද (18) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති ලෙස ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාත්, උප නායක ලෙස ජෝශප් මයිකල් පෙරේරා මහතාත් නිතරගයෙන් තේරී පත්විය.
පක්‍ෂ නායකත්වයට කරූ ජයසූරිය මහතාත්, නියෝජ්‍ය නායක හා ජාතික සංවිධායක ධූරවලට එම කණ්ඩායමේ කිහිප දෙනෙකුත් තරග කිරීමට තීරණය කළ බැවින්, ඒ සඳහා වූ ජන්ද විමසීම හෙට (19) පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව, එම තනතුරු සඳහා නාම යෝජනා අද (18) පස්වරු 3.00 ට පෙර භාර දෙන ලෙස දැනුම් දී තිබේ.
මෙම තනතුරු සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට අමතරව කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්තී‍්‍ර 09 දෙනාටද ආරාධනා කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා එම පක්ෂයේ නායකත්වයට ඉල්ලීම සඳහා අද (18) පෙරවරුවේ නාම යෝජනා පත‍්‍රවලට අත්සන් තබනු ලැබිය.
කොළඹ අමරසේකර මාවතේ පිහිටි ජයසුරිය මහතාගේ නිවසේදී ඊට අදාළ කටයුතු සිදුවිය.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන තනතුරු 6 සඳහා කරු ජයසූරිය පාර්ශවයෙන් පුද්ගලයින් නම් කර ඇති බව ද එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
එම ආරංචි මාර්ගවලට අනුව පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා නම් කර තිබේ.
උප නායක තනතුර සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතාත්, සභාපති ධුරයට ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාත්, ජාතික සංවිධායක ලෙස දයාසිරි ජයසේකර මහතාත් නම් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
එහිදී කරු පාර්ශවයෙන් ඉදිරිපත් වන පුද්ගලයන්ගේ නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වුවහොත් ඔහු විසින් පක්ෂ මහලේකම්වරයා හා භාණ්ඩාගාරිකවරයා තීරණය කරනු ඇති බවත් එම කණ්ඩායමේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ප‍්‍රධාන තනතුරු සඳහා ජෝශ්ප් මයිකල් පෙරේරා, රවී කරුණානායක, දයා ගමගේ යන මහත්වරුන්ගේ නම් යෝජනාවී ඇතැයි වාර්තාවේ.
කරු කණ්ඩායම විසින් නම් කළ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සහ දයාසිරි ජයසේකර මහතා රනිල් කණ්ඩායම විසින්ද තනතුරු සදහා යෝජනා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට යලි පත්වු පසු මහලේකම්වරයා ලෙස දැනට එම තනතුරේ කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතාම පත් කිරීමට නියමිත බව පැවසේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (18) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මේවනවිට ආරම්භ වී තිබේ.









