ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම වැනි හදිසි පියවර කි‍්‍රයාත්මක කිරීමට කොමිසමක නිර්දේශ අවශ්‍ය වන්නේ නැත – ජනතා විමුක්ති පෙරමුණ

‘උතුරේ අවතැන්වූවන් යළි පදිංචි කිරීම, ඔවුනට ජීවිතය පටන් ගැනීමට අවශ්‍ය ආධාර ලබාදීම, ඔවුන්ගේ ඉඩම් ආපසු ලබාදීම, දේශපාලන  සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව විසඳීම, සිවිල් පාලනය ස්ථාපිත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම වැනි හදිසි පියවර කි‍්‍රයාත්මක කිරීමට කොමිසමක නිර්දේශ අවශ්‍ය වන්නේ නැත. යුද්ධය නිමාවූ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා යෝජනා මාලාවක්  ඉදිරිපත් කරමින් මැදිහත් වූ බවද අමතර කරුණක් ලෙස සඳහන් කළ යුතුය.’ යනුවෙන් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමණේ දේශපාලන මණ්ඉඩලය විසින් මාධ්‍ය නිවෙදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවෙදනය සම්පූර්ණයෙන් පහත පලවේ

ජනමාධ්‍ය නිවේදනය

උගත් පාඩම් හා ප‍්‍රතිසංධානය පිළිබඳ වූ ජනාධිපති කොමිසමේ වාර්තාව පසුගිය 16දා ආණ්ඩුව විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ එය ඉදිරිපත් කරන ලෙස බාහිර බලපෑම් වැඩිවෙමින් තිබූ නිසාය. ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරනු ලැබුවේද ලංකාවේ වසර 30කට වැඩි කාලයක් තුළ පැවති බෙදුම්වාදී යුද්ධය තුළ සිදුවූ  සිදුවීම් හා ලංකාවේ බෙදුම්වාදී අරගලය  බිහිවීමට බලපෑ සමාජ, ආර්ථික, දේශපාලන හේතු අධ්‍යයනය කොට ඊට විසඳුමක් සෙවීමේ අවංක අරමුණකින් නොව යුද්ධය නිමාවීමත් සමඟ විදේශ බලවේගයන් වෙතින් එල්ල වූ චෝදනා හා බලපෑම් වලින් ගැලවීම සඳහාය.

මෙම කොමිසම ලංකාවේ ජාතික ගැටළුවට, බෙදුම්වාදී අරගලයට බලපෑ හේතු විමසා ඊට විසඳුම් ඉදිරිපත් කරන්නක් නොව වසර 30කට වැඩි බෙදුම්වාදී යුද්ධයේ  ඉතිහාසයෙන් 2002 පෙබ. 21දා සිට 2009 මැයි 19 දක්වා වූ කාලය තුළ සිදුවූ සිදුවීම් බිඳක් මතුපිටින් පමණක් විමසා බැලීමකි. මෙම කොමිසමේ සීමාව විසින්ම හා එහි නිරර්ථක බව පැහැදිළි වේ. වසර 30කට ආසන්න කාලයක් තුළ පැවති බෙදුම්වාදී අරගලය තුළ වරින් වර බලයට පත්වූ ආණ්ඩු කටයුතු කළ ආකාරයත්, බෙදුම්වාදී බලවේගයන්ගේ කි‍්‍රයාකාරිත්වයත්, ශී‍්‍ර ලංකාවේ ජාතික ප‍්‍රශ්නය අරභයා අධිරාජ්‍යවාදයේ හා අසල්වැසි ඉන්දියාවේ මැදිහත්වීම්ද යන වැදගත්ම සාධක මුලූමනින්ම නොසලකා හැර වසර කිහිපයක සිදුවීම් ගැන විමර්ශනය කිරීමට පමණක් මෙම කොමිසමේ  බලය සීමාකිරීම තුළින්ම පෙනෙන්නේ මෙය ප‍්‍රශ්නයෙන් පළායාමට හා ජාත්‍යන්තර වශයෙන් එල්ල වූ විරෝධය මගහැර ‘දවස ගෙවා ගැනීමේ’ වූ අරමුණින්ම කළ එකක් බවය.

අනෙක් අතට මෙම කොමිසමේ කි‍්‍රයාකාරිත්වය තුළද විටින් විට ගැටළු මතුවිය. එය ඉදිරියේ සාක්‍ෂි දීමට ඉදිරිපත් වූ බොහෝ දෙනෙකුට සාක්‍ෂි  දීමට නොහැකි වූ බවත් ඒ සඳහා කාලය ප‍්‍රමාණවත් නොවූ බවත් වාර්තා විය. ඉන් පෙනී යන්නේද මෙම කොමිසම පුළුල් අරමුණක් හා වගකීමක් සහිතව කි‍්‍රයාත්මක නොවූ බවය.

එවැනි තත්වයක් තුළ මෙම කොමිසමේ වාර්තාවෙහි අඩංගු සමහර කරුණු ගැන කතාකිරීම, එකී කරුණු වල හොඳ නරක හෝ හරි වැරදි ගැන කතා කිරීම ඵල රහිත වේ. මෙම කොමිසම පත් කිරීමට ජනාධිපතිවරයා හා ආණ්ඩුව ගත් තීරණය උතුරේ ප‍්‍රශ්නය විසඳීමේ අවංක  උත්සාහයක් සඳහා නොවන බව තහවුරු වන්නේ මෙවැනි කොමිසමක නිර්දේශ නොමැතිව වුවද ආණ්ඩුව අඩු වශයෙන් යුද්ධය අවසන් වූ මොහොතේ සිටම වහාම ඉටු කළයුතු වූ කාර්යයන් රැසක් ඉටු නොකර හිතුවක්කාරී ලෙස මගහැර යමින් තිබෙන නිසාය.

උතුරේ අවතැන්වූවන් යළි පදිංචි කිරීම, ඔවුනට ජීවිතය පටන් ගැනීමට අවශ්‍ය ආධාර ලබාදීම, ඔවුන්ගේ ඉඩම් ආපසු ලබාදීම, දේශපාලන  සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ ගැටළුව විසඳීම, සිවිල් පාලනය ස්ථාපිත කිරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය ස්ථාපිත කිරීම වැනි හදිසි පියවර කි‍්‍රයාත්මක කිරීමට කොමිසමක නිර්දේශ අවශ්‍ය වන්නේ නැත. යුද්ධය නිමාවූ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා යෝජනා මාලාවක්  ඉදිරිපත් කරමින් මැදිහත් වූ බවද අමතර කරුණක් ලෙස සඳහන් කළ යුතුය.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මෙම කොමිසම රටේ පැවති යුද්ධය නිමාවීමෙන් පසුද, තවමත් පවතින ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීමට වත් පාඩම් ඉගෙන ගැනීමටවත් ජාතික සමගිය ඇතිකිරීමට හෝ ප‍්‍රතිසන්ධානයක් ඇතිකිරීමට වත් පිහිටුවන ලද කොමිසමක් නොව ජනාධිපතිවරයා හා ආණ්ඩුව මුහුණ දුන් අර්බුදයෙන් ගැලවීම සඳහා  පිහිටුවන ලද කොමිසමක් බවය. ඒ අර්ථයෙන් ගත්වි ට මෙය වෙනත් අවස්ථා වලදී මෙන්ම කාලය හා මහජන මුදල් නාස්ති කිරීමක්ද වී තිබේ. ලංකාවේ ජාතික ප‍්‍රශ්නය විසඳීමටවත් අඩු ගණනේ ඊට ආරම්භක පියවරක් තැබීමට හෝ ප‍්‍රශ්නය නිවැරදිව හඳුනාගැනීමටවත් ධනපති ක‍්‍රමය තුළ මෙතෙක් පැවති ආණ්ඩුවලට මෙන්ම වත්මන් ආණ්ඩුවටද වුවමනාවක් මෙන්ම හැකියාවක්ද නැතිබව මේ මගින් යළිත් පෙන්වා තිබේ.

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2011-12-18

Facebook
Twitter
LinkedIn